එක් ක්‍රීඩකයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 4 ක්

 ඡායාරූපය:

එක් ක්‍රීඩකයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 4 ක්

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 600ක්

නේපාලයේ කත්මණ්ඩු සහ පොකාරා නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත දහතුන් වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල මෙම වසරේ සැප්තැම්බර් මාසයේ නිසැකවම පවත්වන බව එරට ඔලිම්පික් කමිටුව නිල වශයෙන් නිවේදනය කරයි. ක්‍රීඩා අමාත්‍යංශයේ ඉහළ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙවර ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හයසියයක ක්‍රීඩක කණ්ඩායමක් සහභාගි කරවීමට සැලසුම් කර ඇති බවය.

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 300ක වියදමක් දැරීමට සිදුවනු ඇති බව දැනටමත් ගණන් බලා ඇතැයි එම නිලධාරියා ප්‍රකාශ කළේය. එය දළ වශයෙන් සලකන කල එක් ක්‍රීඩකයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරක මුදලකට ආසන්නය.

පසුගිය වර ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්ත කේන්ද්‍ර කරගනිමින් පැවැති 12 වැනි දකුණු ආසියානු තරගාවලි සංචාරය වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මගින් විශේෂයෙන් වෙන්කළ ගුවන් යානා දෙකක් යොදාගනු ලැබුණේය. එ් අනුව මෙවර තරගාවලිය සඳහාද ඒ ආකාරයෙන්ම විශේෂයෙන් වෙන්කළ ගුවන් යානා දෙකක් යොදාගැනීමට කටයුතු කරන බව එම ප්‍රකාශකයා පැවසීය. ‘කත්මණ්ඩු ගුවන් තොටුපොළේ ඉඩ අවකාශ සලකා බලලා වෙන්කර ගන්නා ගුවන්යානාවන්හි විශාලත්වය බලධාරීන් සමග සාකච්ඡා කළ යුතුයි. එය නුදුරේදීම අප සිදුකරනවා. ඇතැම් විට එම ගුවන්යානා ප්‍රමාණය වෙනස්විය හැකියි.’ එම ඉහළ ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් නිලධාරීන් 175 කට ආසන්න පිරිසක් සහභාගිවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් නේපාලය බලා යන ක්‍රීඩක සහ පුහුණුකරුවන්ගේ සංඛ්‍යාව අටසියයකට ආසන්න වනු ඇතැයි විශ්වාස කෙරේ. ‘අපි කලාපීය වශයෙන් සහභාගිවන ලොකුම තරගාවලිය වන්නේ සාග් තරගාවලියයි. අපිට එම තරගාවලිය අතහරින්න හැකියාවක් නැහැ. තරගාවලිය වෙනුවෙන් ඇතුළත් කරන සියලු ක්‍රීඩා ඉසව් නියෝජනය කරන්න අපි සූදානම්. මෙම තරගාවලිය මගින් කලාපීය සංහිඳියාව වැඩි වර්ධනය කරනවා. ආසියාවට යන්න ශක්තියක් ලබාදෙනවා. ඒ නිසා එම තරගාවලියට සහභාගිවී ඉන්දියාවට හැකි උපරිම සටනක් දෙන්නයි අපි රටක් වශයෙන් අපේක්ෂා කරන්නෙ.’ එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේය.

මෙවර තරගාවලිය සඳහා තරග ඉසව් 27 ක් ඇතුළත් කිරීමට තරග සංවිධායකයන් කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකාව ඉසව් 23 ක් වෙනුවෙන් ක්‍රීඩාකිරීමට දැනටමත් එකඟවී තිබේ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා