නිදහස් දිනයේ ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාවට යටත් වෙයි

 ඡායාරූපය:

නිදහස් දිනයේ ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාවට යටත් වෙයි

දින තුනහමාරකින් සත්කාරකයින්ට ලකුණු 366 ක විශිෂ්ට ජයක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් තවමත් තම කණ්ඩායම නිදහස් නැතැයි පෙන්වා දෙමින් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (04) ඔස්ට්‍රෙලියාව හමුවේ ලකුණු 366 කින් පරාජය ලැබීය. මෙම තරගයේදී කඩුලු දහයක් දවාගනිමින් ජයග්‍රහණයේ නියමුවා වූ මිචෙල් ස්ටාක්ට තරගයේ වීරයා සම්මානය ප්‍රදානය කෙරිණි. ඔහු පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද කඩුලු පහක් දවාගත් අතර එය ඔහු ටෙස්ට් තරගයක කඩුලු 10ක් දවාගත් දෙවැනි අවස්ථාවයි. මෙයට පෙර ස්ටාක් එලෙස කඩුලු 10ක් දවාගෙන තිබුණේ ද ශ්‍රී ලංකාවටම එරෙහිව වීම විශේෂත්වයකි.

ජයග්‍රහණය සඳහා ලකුණු 516 ක දැවැන්ත සහ අභියෝගාත්මක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා දිනය අවසන් කරනවිට කිසිවකු නොදැවී ලකුණු 17 ක් ලබාසිටියේය. බොහෝ දෙනෙකු තුළ සුබවාදී අපේක්ෂා නිර්මානය වෙමින් තිබුණේ සිව්වැනි ඉනිමේ යම් ලකුණු ප්‍රමාණයක් ලකුණු පුවරුවට එක් කිරීමට ඔවුනට හැකිවනු ඇතැයි කියාය. එහෙත් පුවරුවට තවත් එක් ලකුණක් පමණක් එක්වද්දී ඊයේ ශ්‍රී ලංකා පිලේ දැවී ගිය පළමු කඩුල්ල බිඳ දැමීමට ස්ටාක් සමත්වූයේය. ඔහු විසින් දිනයේ යවනු ලැබූ දෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවේදී දිමුත් කරුණාරත්න මෙලෙස දැවී ගියේය. දිමුත් ටෙස්ට් තරගයකදී ස්ටාක්ගේ පන්දුවක් හමුවේ දැවී ගිය අට වැනි වතාව ඉතිහාසට එක්කරමින් පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් දැවී ගියේය. ඔහු ස්ටාක්ගේ ඇතුළත දෝලිත පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට උත්සහ කළ නමුත් එම පහර එල්ල කිරීමේදී ඔහුගේ පිත්ත සහ පා ආවරණය අතර ඇතිවූ විශාල හිඩැසෙන් දෝලනය වූ පන්දුව ඇතුළත ඉන්නේ දැවටිණි.

නායක දිනේෂ් චන්දිමාල්ගේ කඩුල්ල තරගයේ 13 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී දැවී ගියේ ස්ටාක්ගේ පන්දුවක් හමුවේමය. තෙවැනි කඩුල්ල වශයෙන් ළහිරු තිරිමාන්නගේ කඩුල්ල පැට් කමින්ස්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් ලබාදෙමින් අහිමි විණි. අනතුරුව කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න යම් ප්‍රමාණයකට පිතිහරඹයක නියැලීමට උත්සහ කළ නමුත් අසාර්ථක විණි. නිදහසේ පන්දුවට පහරදෙන බවක් පෙන්වූ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලැබුස්චානේගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ලකුණු 42 ක් රැස්කරමිනි. පැට් කමින්ස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවැනි වැඩිම කඩුලු ලාභියා වෙමින් කඩුලු 3 ක් දවාලීය. ඔහුට තරගාවලියේ වීරයා සම්මානයද හිමිවිය.

මාතෘකා