ශ්‍රී ලංකාවට මංගල ටෙස්ට් පන්දුව යැවූ ප්‍රතිවාදියා සමුගනී

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවට මංගල ටෙස්ට් පන්දුව යැවූ ප්‍රතිවාදියා සමුගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් වර්ණ හිමිකරදෙමින් 1982 වසරේ පෙබරවාරි 17-21 අතර පී සරා පිටියේ පැවැති මංගල ටෙස්ට් තරගයේ පළමු පන්දුව යැවූ සුපිරි එංගලන්ත වේග පන්දුයවන්නා වූ බොබ් විලිස් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යනවිට හැත්තෑ වැනි වියේ පසුවූයේය. බොබ් විලීස් ටෙස්ට් තරග 90කට ක්‍රීඩාකර කඩුලු 325ක් දවාගැනීමට සමත්ව තිබේ.

1949 වසරේ මැයි මාසයේ 30 වැනිදා උපත ලැබූ බොබ් විලීස් ප්‍රාන්ත තරගවලදී සරේ හා වොවික්ෂයර් කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයෙකි. අඩි හයයි අඟල් හයක් උසැති ඔහු ඉතා කෙටි අසනීප තත්ත්වයකින් පීඩා විඳ දෙසැම්බර් 4 වැනිදා මියගිය බව ඔහුගේ පවුලේ වාර්තා සඳහන් කළේය. දකුණතින් වේග පන්දුයැවූ හා පිත්ත හැසිරවූ බොබ් විලීස් එකල සිටි වේගවත්ම පන්දුයවන්නෙක් වශයෙන් පිළිගැණේ.

ශ්‍රී ලංකාවට තම මංගල ටෙස්ට් වර්ණ ප්‍රදානය කරමින් එහි පළමු පන්දුව යැවූ ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක්වූ බොබ් එම පන්දුව යොමුකරනු ලැබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ටෙස්ට් නායකයා වූ බන්දුල වර්ණපුරටය. බොබ් එම තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ පළමු ගොදුර බවට වර්ණපුරගේ කඩුල්ල හිමිකරගත් අතර ඉන්පසු ශ්‍රී ලංකාව සතු හොඳම තාක්ෂණික පිතිකරුවා වූ රෝයි ඩයස් ලකුණු ලබානොදී දවාගත්තේය. දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම ආරම්භක පිතිකරුවකු වන සිත් වෙත්තමුණිගේ කඩුල්ල දවාගත්තේ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත යොමුකරමිනි. සිය දිවි සැරියෙන් සමුගත් බොබ් විලීස් නම්වූ විශිෂ්ට ක්‍රීඩකයා සැලකෙන්නේ ලසිත් මාලිංගගේ කොණ්ඩා මෝස්තරයට ගුරු හරුකම් ලබාදුන් හැත්තෑව දශකයේ සිහින තරුව ලෙසය.

News Order: 
2
මාතෘකා