දකුණු ආසියා ක්‍රීඩා උලෙළේ පෙර දවස

 ඡායාරූපය:

දකුණු ආසියා ක්‍රීඩා උලෙළේ පෙර දවස

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙසැම්බර් 1 වැනිදා නේපාලයේ කත්මණ්ඩු සහ පොකාරා නගරවලදී ආරම්භ වූ අතර එය අවසන් වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 10 වැනිදාය.

ජාතික මට්ටමින් ජාත්‍යන්තර තරගාවලින්ට යදකුණු ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පළමු අත්දැකීම වන්නේ බොහෝ විට මෙම ක්‍රීඩා උළෙලයි. 1984 ආරම්භ වූ පළමු ක්‍රීඩා උළෙළෙ සිටම බිහිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා දීමට සමත් වූ අතර අදත් ඔවුන්ගේ දස්කම් ශ්‍රී ලංකා ක්‍රීඩා වංශ කථාවේ ලියැවී ඇත.

රුවන් චන්ද්‍රතිලක, රංජිත් සුභසිංහ, ජයමිණී ඉලේපෙරුම, ශ්‍රියාණි කුලවංශ, යමුනා ජයලත් යාපා, ධම්මකා මැණිකේ, ශ්‍රීයන්ත දිසානායක දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ, සුග.් තිලකරත්න වැනි මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම තවත් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දස්කම් දැක්වූ අතර මෙරට ක්‍රීඩාව 80 සහ 90 දශකවලදී ඉදිරියට පැමිණීමටද මෙම ක්‍රීඩා උළෙල මනා රුකුලක් විය.

මෙතෙක් පැවැති සියලුම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලවල් සඳහා ශ්‍රී ලංකාව සහභාගි වූ අතර 1991 සහ 2006 තරගාවලින්හි සත්කාරකයන් වූයේද ශ්‍රී ලංකාවයි.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ පැවැත්වෙන අතරවාදයේදී මෙතෙක් පැවැති තරගාවලි 12 පිළිබඳ කෙටි මතක ආවර්ජනයක යෙදීමට මෙය අවස්ථාවක් කර ගත්තෙමු. පහත පළවන්නේ එම තරගාවලින්හි දි පළමු ස්ථාන දිනාගත් එක් එක් රටවල් විසින් හිමිකර ගත් ස්ථාන පිළිබඳව කෙටි විමසුමකි.

පළමු ක්‍රීඩා උලෙළ -1984

සත්කාරක රට - නේපාලය (කත්මණ්ඩු)

සාෆ් තරගාවලිය වශයෙන් මෙම තරගාවලිය පැවැත්වුණේ සැප්තැම්බර් මාසයේ 17 වැනිදා සිට 23 වැනිදා දක්වා කත්මණ්ඩු නගරය කේන්ද්‍ර කරගනිමිනි. රටවල් හතක් තරගාවලියට එක්ව සිටියේ දකුණු ආසියානු කලාපයට අයත්වන රාජ්‍යයන් ලෙසය. ක්‍රීඩා තරග පහක් පමණක් පැවැති මෙම තරගාවලිය මලල ක්‍රීඩා, බොක්සිං, පාපන්දු, පිහිනුම් සහ බර ඉසිලීමේ තරග ඉසව්වන්ට සීමාවිණි.

එහිදී රන් පදක්කම් 44ක්, රිදී පදක්කම් 28ක් හා ලෝකඩ පදක්කම් 16ක් දිනාගත් ඉන්දියාව පෙරමුණ ගනිද්දී ශ්‍රී ලංකාවට දෙවැනි තැන හිමිවූයේ රන් පදක්කම් 7ක් රිදී පදක්කම් 11ක් හා ලෝකඩ පදක්කම් 19ක් දිනාගත් බැවිනි. තෙවැනි තැන පකිස්තානයටත්, සිව්වැනි තැන නේපාලයටත් හිමිවිය. බංග්ලාදේශය, භූතානය හා මාලදිවයින පිළිවෙලින් හය වැනි සහ හත්වැනි ස්ථාන හිමිකරගත්හ.

දෙවැනි ක්‍රීඩා උලෙළ -1985

සත්කාරක රට - බංග්ලාදේශය (ඩකා)

දෙවැනි තරගාවලියත් සාෆ් ක්‍රීඩා උලෙළ ලෙස හැඳින්වුණු අතර බංග්ලාදේශයේ ඩකා නුවර කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කෙරුණේ දෙසැම්බර් 20 වැනිදා සිට 26 වැනිදා දක්වාය. රටවල් හතක් සහභාගිවූ මෙවර තරගාවලියේ ක්‍රීඩා ඉසව් හතක් සංවිධානය කෙරිණි. ඒ අතරින් කබඩි සහ මල්ලව පොර ක්‍රීඩා හඳුන්වා දුන්නේ එම තරගාවලියෙනි. සෙසු තරග වශයෙන් මලල ක්‍රීඩා, බොක්සිං, පාපන්දු, පිහිනුම්, බර ඉසිලීම පැවැත්විණි. එම තරගාවලියේදී ඉන්දියාව රන් 61ක් රිදී 32ක් හා ලෝකඩ 14ක් ලබමින් පළමු තැන ලබාගනිද්දී දෙවැනි තැන හිමිකරගත්තේ පකිස්තානයයි. ඒ රන් 21ක්, රිදී 26ක් හා ලෝකඩ 12ක් ලබමිනි. තෙවැනි තැන සත්කාරක බංග්ලාදේශය හිමිකරගත් අතර ඔවුන් රන් 9ක්, රිදී 26ක් හා ලෝකඩ 38ක් හිමිකරගත්තේය. ශ්‍රී ලංකාවට හිමිවුණේ සිව්වැනි ස්ථානය වන අතර ඒ රන් 2ක්, රිදී 7ක් හා ලෝකඩ 9ක් ලෙසය. ඉන්පසු නේපාලය, භූතානය හා මාලදිවයින ස්ථාන ගතවූහ.

තෙවැනි ක්‍රීඩා උලෙළ - 1987

සත්කාරක රට - ඉන්දියාව (කල්කටා)

ඉන්දියාවේ කල්කටාහිදී පැවැති තෙවැනි සාෆ් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් ක්‍රීඩා ඉසව් දහයක් අන්තර්ගත කෙරුණේය. ඒ මලල ක්‍රීඩා, බොක්සිං, පාපන්දු, කබඩි, පිහිනුම්, බර ඉසිලීම, මල්ලව පොර, හා හඳුන්වාදෙන ක්‍රීඩා ලෙස පැසිපන්දු, මේස පන්දු, වොලිබෝල් වශයෙනි. ප්‍රදර්ශන තරග ඉසව්වක් ලෙස කෝ කෝ ක්‍රීඩාවද ඊට ඇතුළත්විය. ඉන්දියාව රන් 91ක් රිදී 45 ලෝකඩ 19ක්ද දිනා පෙරමුණ ගත් අතර දෙවැනි තැන දිනූ පකිස්තානය රන් 16ක් රිදී 39ක් ලෝකඩ 14ක්ද හිමිකර ගත්තේය. තෙවැනි තැන ලැබූ ශ්‍රී ලංකාවට රන් 4ක් රිදී 7ක් හා ලෝකඩ 23ක් හිමි විය.ඉන්පසු පිළිවෙලින් බංග්ලාදේශය, නේපාලය, භූතානය හා මාලදිවයින පදක්කම් සටහනේ පෙළගැසුණි.

සිව්වැනි තරගාවලිය -1989

සත්කාරක රට - පකිස්තානය (ඉස්ලාමාබාද්)

සිව්වැනි සාෆ් ක්‍රීඩා උලෙළ පැවැතුණේ පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර කේන්ද්‍ර කරගනිමිනි. එම තරගාවලිය ඔක්තෝබර් 20 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැති අතර මලල ක්‍රීඩා, බොක්සිං, පාපන්දු, කබඩි, පිහිනුම්, මේස පන්දු, වොලිබෝල්, බර ඉසිලීම , මල්ලව පොර හා ස්කොෂ් (හඳුන්වා දීම) සිදුකෙරුණේය. එහිදීද මුල් තරගාවලි තුනේදී මෙන් ඉන්දියාව පෙරමුණ ගත්තේ රන් පදක්කම් 61ක්, රිදී 43ක් හා ලෝකඩ පදක්කම් 20ක් හිමිකරගනිමිනි. පාකිස්තානය රන් 45, රිදී 33ක් ලෝකඩ 42ක් සහිතව දෙවැනි තැන ලබද්දී තෙවැනි තැන දිනාගත්තේ රන් 6ක් රිදී 10ක් හා ලෝකඩ 21ක් ලැබූ ශ්‍රී ලංකාවයි. බංග්ලාදේශය, නේපාලය, භූතානය හා මාලදිවයින ඊට පසු ස්ථානයන්ට හිමිකම් කීය.

පස්වැනි තරගාවලිය -1991

සත්කාරක රට - ශ්‍රී ලංකාව (කොළඹ)

මෙම තරගාවලිය පැවැත්වුණේ ශ්‍රී ලංකාවේදීය. ඒ දෙසැම්බර් 22 වැනිදා සිට 31 වැනි දක්වාය. මලල ක්‍රීඩා, පැසිපන්දු, බොක්සිං, පාපන්දු, පිහිනුම්, මේස පන්දු, වොලිබෝල්, බර ඉසිලීම, ඉලක්කයට වෙඩි තැබීම, ටෙනිස් යන තරග ඉසව් පැවැත්විණි. එහිදීද ඉන්දියාව රන් 64ක් රිදී 59ක් ලෝකඩ 41ක් දිනාගනිමින් ප්‍රථම ස්ථානයට පත්වද්දී සත්කාරක රාජ්‍ය වශයෙන් ශ්‍රී ලංකාව රන් 44ක් රිදී 34ක් හා ලෝකඩ 40ක් ලබමින් දෙවැනි තැන ලැබූයේ හොඳ සටනක් ලබාදෙමිනි. පකිස්තානය රන් 28ක් රිදී 32ක් සහ ලෝකඩ 25ක් ලබාගත්තේය. ඊට පසු ස්ථාන බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින හා භූතානය හිමිකර ගත්හ.

හයවැනි තරගාවලිය 1993

සත්කාරක රට - බංග්ලාදේශය (ඩකා)

බංග්ලාදේශයේ ඩකා නුවර හයවැනි තරගාවලිය දෙසැම්බර් 20 හා 27 අතර පැවැත්විණි. රටවල් හතක් තරගාවලියට සහභාගිවූ අතර මලල ක්‍රීඩා, බොක්සිං, පාපන්දු, කබඩි, ඉලක්කයට වෙඩි තැබීම, පිහිනුම්, මේස පන්දු, ටෙනිස්, වොලිබෝල්, බර ඉසිලීම, ජුඩෝ යන තරග ඉසව් අයත්විය. ඉන්දියාව රන් 60ක්, රිදී 46ක් ලෝකඩ 31ක් දිනා පළමු තැන ගනිද්දී පකිස්තානය රන් 23, රිදී 22, ලෝකඩ 20ක් හිමිකරගත් අතර ශ්‍රී ලංකාව රන් 20ක්, රිදී 22, ලෝකඩ 39ක් දිනා තෙවැනි ස්ථානය හිමිකරගත්තේය. ඉන් පසු පදක්කම් සටහනේ බංග්ලාදේහ, නේපාලය, භූතානය හා මාලදිවයින ස්ථාන ගතවිණි.

හත්වැනි තරගාවලිය 1995

සත්කාරක රට - ඉන්දියාව (මදුරාසි)

හත්වැනි සාෆ් ක්‍රීඩා උලෙළ පැවැත්වුණේ දෙසැම්බර් 18 වැනිදා සිට 27 වැනිදා දක්වා ඉන්දියාවේ මදුරාසියේදීය. එහිදී සත්කාරකයන් වශයෙන් ඉන්දියාව රන් 166ක් රිදී 60ක් හා ලෝකඩ 19ක් ලබමින් මුල් තැන ගනිද්දී දෙවැනි තැන ශ්‍රී ලංකාව රන් 16ක් රිදී 25ක් ලෝකඩ 53ක් ද පකිස්තානය රන් 10, රිදී 33ක් හා ලෝකඩ 36ක් දිනා ගනු ලැබිණි. බංග්ලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින ඊට පසු ස්ථානවලට හිමිකම් කීහ. ගතවිය.

හත්වැනි තරගාවලිය 1999

සත්කාරක රට - නේපාලය (කත්මණ්ඩු)

හත්වැනි තරගාවලියට සත්කාරකත්වය ලබාදුන්නේ නේපාලයයි. කත්මණ්ඩු නුවර පැවැති මෙම තරගාවලියේදී ඉසව් 12ක් පැවැත්විණි. මලල ක්‍රීඩා, බොක්සිං, පාපන්දු, කබඩි, කරාටේ, ඉලක්කයට වෙඩි තැබීම, පිහිනුම්, මේස පන්දු, ටයිකොන්ඩෝ, වොලිබෝල්, බර ඉසිලීම, මල්ලව පොර යන ඉසව් ඊට ඇතුළත්විණි. ඉන්දියාව රන් 102ක් රිදී 58ක් හා ලෝකඩ 37ක් සහිතව පළමු ස්ථානය දිනාගනිද්දී නේපාලය දෙවැනි තැන දිනාගත්තේ රන් 32ක් රිදී 10ක් හා ලෝකඩ පදක්කම් 24ක් දිනාගනිමිනි. තෙවැනි තැන රන 16ක් රිදී 42ක් ලෝකඩ 62ක් දිනූ ශ්‍රී ලංකාව සතුවිය. පකිස්තානය, බංග්ලාදේශය, භූතානය හා මාලදිවයින පිළිවෙලින් අවසන් ස්ථානවලට පත්විණි.

නවවැනි තරගාවලිය -2004

සත්කාරක රට - පකිස්තානය (ඉස්ලාමාබාද්)

මෙම තරගාවලිය පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේ සංවිධානය විණි. රාජ්‍යයන් අටක් ක්‍රීඩා ඉසව් 15ක් ලෙස තරගාවලිය පැවැත්වුණේ මාර්තු 29 වැනිදා සිට අප්‍රේල් 7 වැනිදා දක්වාය. අලුතින් එක්වූ දකුණු ආසියානු රාජ්‍ය වූයේ ඇෆ්ගනිස්ථානයයි. මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බොක්සිං, පාපන්දු, කබඩි, ජුඩෝ, ඔරු පැදීම, ඉලක්කයට වෙඩි තැබීම, ස්කොෂ්, පිහිනුම්, මේස පන්දු, ටයිකොන්ඩෝ, වොලිබෝල්, බර ඉසිලීම, මල්ලව පොර යන ක්‍රීඩා සංවිධානය කරනු ලැබුණේය. එහෙත් රන් පදක්කම් 103ක් රිදී 57ක් හා ලෝකඩ 32ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගනිද්දී සත්කාරක පාකිස්තානය රන් 38ක්, රිදී 55ක් හා ලෝකඩ පදක්කම් 50ක් දිනාගනිමින් දෙවැනි තැනට පත්විය. තෙවැනි තැන හිමිවුණේ රන් 17, රිදී 32ක් හා ලෝකඩ 57ක් හිමිකරගත් ශ්‍රී ලංකාවටයි. සිව්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා නේපාලය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, භූතානය හා මාලදිවයින යන කණ්ඩායම් පත්විණි.

දසවැනි තරගාවලිය -2006

සත්කාරක රට - ශ්‍රී ලංකාව (කොළඹ)

එය පැවැත්වුණේ අගෝස්තු 18 වැනිදා සිට 28 වැනිදා දක්වායි. රටවල් අටක් සහභාගිවූ තරගාවලියට දුනු විදීම, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බොක්සිං, පාපැදි, හොකී, පාපන්දු, කබඩි, කරාතේ, ජුඩෝ, ඔරු පැදීම, ඉලක්කයට වෙඩි තැබීම, ස්කොෂ්, පිහිනුම්, මේස පන්දු, ටයිකොන්ඩෝ, වොලිබෝල්, බර ඉසිලීම, මල්ලව පොර, වුෂූ යන ඉසව් ඇතුළත් විණි. එහිදී ඉන්දියාව යළි පෙරමුණ ගත් අතර රන් 118ක්, රිදී 59ක් හා ලෝකඩ 37ක් ලබාගත්තේය. පාකිස්තානය රන් 46ක් රිදී 71ක් ලෝකඩ 67ක් හිමිකරගනිමින් දෙවැනි තැන ලැබූ අතර ශ්‍රී ලංකාව රන් 37, රිදී 63ක් හා ලෝකඩ පදක්කම් 78ක් හිමිකරගත් අතර නේපාලය, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින පිළිවෙලින් පසුපෙළ ස්ථානයන්ට හිමිකම් කීහ.

එකළොස් වැනි තරගාවලිය 2010

සත්කාරක රට - බංග්ලාදේශය (ඩකා)

එකොළොස් වැනි තරගාවලිය පැවැත්වුණේ බංග්ලාදේශයේය. ක්‍රීඩා ඉසව් 23ක් පැවැත්වූ මෙම තරගාවලියේද පෙරමුණ ගත්තේ ප්‍රබල ඉන්දියාවයි. දෙවැනි තැන පකිස්තානයටත්, තෙවැනි තැන බංග්ලාදේශයටත් හිමිවුණේය. ඉන්දියාව රන් පදක්කම් 90ක් ලබදී පකිස්තානය රන් පදක්කම් 19ක් බංග්ලාදේශය රන් පදක්කම් 18ක් දිනාගත්තේය. ශ්‍රී ලංකාවට හිමිවුණේ රන් පදක්කම් 16ක් රිදී පදක්කම් 35ක් හා ලෝකඩ පදක්කම් 54කි. නේපාලය, ඇෆ්ගනිස්ථානය, භූතානය හා මාලදිවයින පිළිවෙලින් ඊට පසුව ස්ථාන ගතවිය.

දොළොස් වැනි තරගාවලිය

සත්කාරක රට - ඉන්දියාව (ගුවාති)

ඉන්දියාවේ ගුවාති නුවර කේන්ද්‍ර කරගනිමින් මෙම තරගාවලිය පැවැත්වුණ අතර ඊට ක්‍රීඩා ඉසව් 23ක් ඇතුළත්විය. රටවල් අටකින් කණ්ඩායම් සහභාගිවිය. ඉන්දියාව එහි පළමු තැන හිමිකරගත්තේ සුපුරුදු පරිදි සිය ශක්තිය විදහා දක්වමිනි. ඒ රන් පදක්කම් 188ක් රිදී 90ක් හා ලෝකඩ 30 ක් හිමිකරගනිමිනි.

ශ්‍රී ලංකාව දෙවැනි තැන දිනාගත්තේ රන් 25 රිදී 63 ලෝකඩ 98ක් දිනාගනිමිනි. පාකිස්තානයට තෙවැනි තැන හිමිවද්දී පිළිවෙලින් සිව්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය දක්වා ස්ථාන ගතවීමට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින හා භූතානය ශසමත් වූහ.

මාතෘකා