පදක්කම් සටනේ ශ්‍රී ලංකාව තෙවැනි තැනට

 ඡායාරූපය:

පදක්කම් සටනේ ශ්‍රී ලංකාව තෙවැනි තැනට

රනුක හා ඉසුරි ලක් මව රනින් බබළවති 
 

 

නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම හිමිකර දීමට ටයිකොන්ඩෝ ඉසව්ව නියෝජනය කළ රනුක ප්‍රභාත් ඊයේ සමත් විය.

අවුරුදු 17-23 අතර වයස කාණ්ඩයෙන් තරග කළ ප්‍රභාත් මේ රන් පදක්කමට හිමිකම් කී අතර ටයිකොන්ඩෝ ගුන්ෂු මිශ්‍ර යුගල ඉසවේදී ඉසුරි සුහාරා මෙන්ඩිස් සමග එක්ව ශ්‍රී ලංකාවට දෙවැනි රන් පදක්කම දිනා දීමටද ඔහුට හැකිවිය. මේ රන් ද්විත්වය සමගින් ටයිකොන්ඩෝ ඉසව්වෙන් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිණි.

මාධවි තිලක්ෂනා සහ ඉලන්දාරිගේ ලක්ෂ්මන් රිදි පදක්කම් දිනාගත් අතර ඔවුන් දෙදෙනා එක්ව මිශ්‍ර යුගල ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා ගත්හ. නිශ්ශංක ජයසිංහ, ඉසුරු සුහාරා සහ ගයත්‍රී සඳමාලි ලෝකඩ පදක්කම් හිමිකරගනිද්දී ඉලන්දාරිගේ ලක්ෂ්මන් සහ ගයත්‍රි සඳමාලි එක්ව මිශ්‍ර යුගල ලෝකඩ පදක්කමක්ද ජයග්‍රහණය කළහ.

කරාතේ

මේ අතර ඊයේ සට්ඩොබටෝහිදී පැවැති කරාතේ ඉසව්වෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

එහිදී පිරිමි කාතා කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කම එල්.බී.හේරත්, ටී.ජී.දයානන්ද සහ ඩබ්.කේ.ආර්.තිසේරා දිනාගත්හ. කාතා කේවල ඉසව්ව නියෝජනය කළ සුදර්ෂන් බාලුරාජ් සහ කාන්තා ඉසව්ව නියෝජනය කළ හේෂානි හෙට්ටිආරච්චි පදක්කම් දිනාගත් අතර අනෙක් පදක්කම කණ්ඩායම් කාතා ඉසව්වට හිමිවිය. එම කණ්ඩායමට නිරෝෂා නිර්මාණි, විහංඟි සශංතිකා සහ එච්.එන්.ටී.ප්‍රනාන්දු නියෝජනය කළහ.

වොලිබෝල් පසු බැස්මක

අවසන් වරට පැවැති සාග් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම්වලට ඊයේ ලෝකඩ පදක්කම්වලින් සැනසීමට සිදුවිය. බංග්ලාදේශය සමග පැවැති එම තරගයේ පළමු වටය 25-23ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර යළි තරගකාරී ක්‍රීඩාවක නිරතවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අනෙක් තරග වට 3 ම ජය ගැනීමට සමත් වූහ. එහි ලකුණු තත්ත්වය වූයේ 25-20ක්, 25-16ක් සහ 25-21කි. ලෝකඩ පදකකම සඳහා පැවැති කාන්තා තරගයේදී ශ්‍රී ලංකා පිල හමුවේ මාලදිවයින වට 3-0කින් පරාජයට පත්විය. එහි ලකුණු තත්ත්වය 25-13, 25-18 සහ 25-08ක් විය.

පදක්කම් සටහන

පළමු දිනය නිමවනවිට සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සත්කාරක නේපාලය සමත්ව සිටී. මේ වනවිට එහි දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ ඉන්දියාවයි. ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ පකිස්තානය සිව්වැනි තැනට පත් කරමිනි. අද තරගයේ තෙවැනි දිනයයි.

 

[නිරෝෂාන් ප්‍රියංකර] නේපාලයේ කත්මන්ඩු නුවර සිට...

News Order: 
0
මාතෘකා

ජනප්‍රිය ලිපි