සාග් සංවිධායකයන් සති දෙකකින් හමුවෙනවා

 ඡායාරූපය:

සාග් සංවිධායකයන් සති දෙකකින් හමුවෙනවා

මැක්ස්වල් ද සිල්වා (ජාතික ඔලිම්පික් කමිටු මහලේකම්)

රටක් වශයෙන් අපි තරගාවලියට සූදානම්

ධම්මික මුතුගල (ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්)

තරගාවලියේ සංවිධාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තවත් සති දෙකකින් නේපාල සංවිධායකයන් මුණගැසීමට නියමිතව ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි. එහි මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ‘රැස’ හා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ තරගාවලියේ සංවිධාන ප්‍රගතිය පිළිබඳ එහිදී සංවාදයට ලක්වෙන බවයි. ‘තරගාවලිය පවත්වන්න තවත් තිබෙන්නේ දින අනූවක් විතරයි. අපි නේපාලයේ සූදානම ගැන දන්න ප්‍රමාණය සීමිතයි. මේ හමුව පවත්වන්නේ ඔවුන් තරගාවලිය පවත්වන්න කටයුතු කර ඇති ආකාරය ගැන කතා කරන්නයි. අපි මේ සමුළුවට යන්න සූදානමින් සිටිනවා. එයින් පසුව තමයි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේ අලුත්ම සූදානම ගැන අදහස් දක්වන්න සිදුවන්නේ’ යැයි පැවසීය.

මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රීඩක සංචිත කැඳවා පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති අතර බොහෝ ඉසව්වන්හි ජාතික තරගාවලි පවත්වා අවසන් සංචිත තෝරාගැනීමද අවසන් කර තිබේ. විශාල මූල්‍ය වැය බරක් දරමින් සියලු සංචිතගත ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට ආහාර පාන, නවාතැන්, ප්‍රවාහන ඇතුළුව මූල්‍ය මය දීමනා ලබාදීමටද රජය ක්‍රියාකර ඇත. ‘අපිට පදක්කම් දිනාගන්න තිබෙන මූලික තරගාවලිය වශයෙන් දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ සැලකෙනවා. ඒ වගේමයි ආසියාවට යන්න දකුණු ආසියානු කලාපයෙන් ඔබ්බට යෑම වැදගත්. ඒ වෙනුවෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ශක්තිය ලබාදීම තමයි මෙම තරගාවලියෙන් සිදුවන්නේ. මෙතැනදී අපිට කලාපීය සහයෝගීතාව වගේම කලාපීය වශයෙන් රටක් ලෙස එහි ජීවත්වන ජනතාවගේ ශක්තිය පිළිබිඹු කරන්න අවස්ථාව උදාවෙනවා. ඒ නිසා අපි ක්‍රීඩා සංගම්වලට කියන්නේ හැකිතරම් ජයග්‍රහණ ලබාගත හැකි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පමණක් මේ තරගාවලියට යොමුකරන්න කටයුතු කරන්න කියලයි. ඒ වෙනුවෙන් නිසි දක්ෂතා හඳුනාගැනීමේ වැඩසටහනක් අපි සකස් කර තිබෙන්නේ මේ වියදම් කරන මුදල් සම්පූර්ණයෙන්ම රටක රජයක් වශයෙන් ඒ රටේ තරුණ පරපුරට කරන වියදමක් ලෙසයි. ඒක කාටවත් අමතක කර ක්‍රියාකරන්න නොහැකියි’ යැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පැවසීය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා