1999 රග්බි ලෝක කුසලානය

 ඡායාරූපය:

1999 රග්බි ලෝක කුසලානය

දෙවැනි වරටත් ලෝක රග්බි කිරුළ ඔස්ට්‍රේලියාවට

සිව්වෙනි රග්බි ලෝක කුසලානය පැවැතියේ නැවත වරක් යුරෝපයේ ය. මීට පෙර යුරෝපයේ පැවැති දෙවැනි ලෝක කුසලාන රග්බි තරගාවලිය මෙන්ම එංගලන්තය, ප්‍රංශය, ස්කොට්ලන්තය සහ අයර්ලන්තයේ සහායද ඇතිව වේල්සය ප්‍රධාන සත්කාරකයන්ව සිටියේ ය.

පසුගිය තරගාවලි තුනේදීම තරග වැදුණේ කණ්ඩායම් 16ක් පමණක් වුවත් මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් එක්කර ගැනීමට ජාත්‍යන්තර රග්බි සංගමය කටයුතු කර තිබිණි. ඒ් අනුව යුරෝපයෙන් කණ්ඩායම් 8ක් ඕෂනියා-ආසියා කළාපයෙන් රටවල් 6ක් සහ අමෙරිකානු කළාපයෙන් කණ්ඩායම් 4ක් තරගාවලියට එක් විය. අප්‍රිකානු මහද්වීපයෙන් තරගාවලියට එක් වූ කණ්ඩායම් ගණන දෙකකි.

යුරෝපය නියෝජනය කරමින් එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, ප්‍රංශය, රුමේනියාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ සත්කාරක වේල්සය එක් විය. ඕෂනියා-ආසියා කළාපයෙන් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆීජි, සැමොවා, ටොංගා සහ ජපානයද, අමෙරිකානු කළාපය නියෝජනය කරමින් කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, ආර්ජන්ටිනාව සහ උරුගුවේ කණ්ඩායමද තරගාවලියට එක් විය. දකුණු අප්‍රිකාව සහ නැමීබියානු කණ්ඩායම අප්‍රිකාවෙන් තරගාවලියට පැමිණ සිටියහ. ඔක්තෝබර් 1 වැනිදා ආරම්භ වූ තරගාවලිය නොවැම්බර් 6 වැනිදා දක්වා දින 37ක් පුරා ක්‍රීඩාංගණ 18කදී පැවැත්විණි. කණ්ඩායම් කාණ්ඩ පහකට බෙදා තරග පැවැත්විණි. ඒ අනුව A කාණ්ඩයට අයත් වූයේ දකුණු අප්‍රිකාව, ස්කොට්ලන්තය, ස්පාඤ්ඤය සහ උරුගුවේ කණ්ඩායම්ය, B කාණ්ඩයෙන් තරග වැදුණේ නවසීලන්තය, එංගලන්තය, ඉතාලිය සහ ටොංගා යන කණ්ඩායම්ය. ප්‍රංශය, ෆීජි, කැනඩාව සහ නැමීබියාව තරග වැදුණේ C කාණ්ඩයෙනි.. D කාණ්ඩය නියෝජනය කළේ වේල්ස්, ආර්ජන්ටිනා, සැමොවා සහ ජපානයයි. ඔස්ට්‍රේලියාව, එක්සත් ජනපදය, අයර්ලන්තය සහ රුමේනියාව ඇතුලත් වූයේ E කාණ්ඩය සඳහාය.

පළමු වටය

A කාණ්ඩයේ තරග ස්කොට්ලන්තයේද, B කාණ්ඩයේ තරග එංගලන්තයේදීද පැවතිණි. C කාණ්ඩාය් තරග සමංවිධානය කර තිබුණේ ප්‍රංශයේදීය. වේල්ස්යේ පැවැතියේ D කාණ්ඩයට අයත් තරගයි. E කාණ්ඩයේ තරග උතුරු අයර්ලන්තයේ සහ දකුණු අයර්ලන්තයේ පැවැත්විණි.

දකුණු අප්‍රිකාව සහ ස්කොට්ලන්තය A කාණ්ඩයෙන්ද, නවසීලන්තය සහ එංගලන්තය B කාණ්ඩයෙන්ද දෙවැනි වටයට පිවිසියේය. C කාණ්ඩයෙන් දෙවැනි වටයට පිවිසියේ ප්‍රංශය සහ ෆීජි කණ්ඩායම්ය. D කාණ්ඩයෙන් වේල්ස්, සැමොවා සහ ආර්ජන්ටිනා යන කණ්ඩායම් තුනම දෙවැනි වටයට එක් වූයේ තරග දෙක බැගින් ජයගත් බැවිනි. E කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය දෙවැනි වටයට තේරී පත් විය.

ඇමෙරිකාව සමග තරගයේදී අයර්ලන්තයේ කීත් වුඩ් උත්සාහක දිනුම් හතරක් වාර්තා කිරීමට සමත් විය. එම තරගය ඔවුන් ජය ගත්තේ ලකුණු 53-08ක් ලෙසිනි. එසේම දැවැන්ත ජයග්‍රහණ වාර්තා කළ කණ්ඩායම් වූයේ එංගලන්තය හ නවසීලන්තයයි. එංගලන්තය විසින් ටොංගා කණ්ඩායම ලකුණු 101-10ක් ලෙස පරාජය කළ අතර නවසීලන්තය විසින් ඉතාලිය පරාජය කළේ ලකුණු 101-03කිනි.

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා එංගලන්තය ලකුණු 45-24ක් ලෙස ෆීජි කණ්ඩායමද, ස්කොට්ලන්තය ලකුණු 35-20කින් සැමොවා ද පරාජය කිරීමට සමත් විය. ප්‍රබල අයර්ලන්තය ලකුණු 28-24ක් ලෙස පරාජය කරමින් ආර්ජන්ටිනාව ද අර්ධ අවසන් වටයට එක් විය.

අර්ධ අවසන් වටය

පළමු අර්ධ අවසන් තරගයට පිවිසියේ ඔස්ට්‍රේලියාව සහ වේල්ස් කණ්ඩායම්ය. සත්කාරක වේල්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් කරමින් ලකුණු 24-09ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. දෙවැනි අර්ධ අවසන් තරගයෙන් ජය ලැබුවේ දකුණු අප්‍රිකාවයි. ඔවුන් එංගලන්තය ලකුණු 44-21කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට එක් විය. නවසීලන්තය අතින් පරාජය වූයේ ස්කොට්ලන්තයයි. ඒ් ලකුණු 30-18ක් ලෙසිනි. ආර්ජන්ටිනාව ලකුණු 47-26කින් පරාජය කළ ප්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ සිව්වෙනි කණ්ඩායම විය.

‍අවසන් පූර්ව වටය

ලන්ඩනයේ ට්විකන්හැම් ක්‍රීඩාංගණයට ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව පිවිසියේ පළමු අවසන් පූර්ව තරගය සඳහා ඔක්තෝබර් 30 වැනිදාය. 1995 ශූරයන් වූ දකුණු අප්‍රිකාව සහ 1991 ශූරයන් වූ ඔස්ට්‍රේලියාව අතර පැවැති මෙම තරගය තියුණු මුහුණුවරක් ගනු ඇති බවට බොහෝ දෙනා අනාවැකි ඵලකර සිටියහ. එම අනාවැකි සඵල කරමින් ඉතා තියුණු තරගයකින් පසුව ලකුණු 27-21ක ජයක් ලබමින් ඔස්ට්‍රේලියාව අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ඔක්තෝබර් 31 වැනිදා ට්විකන්හැම් ක්‍රීඩාංගණයේදීම දෙවැනි අවසන් පූර්ව තරගය සඳහා ප්‍රංශය සහ නවසීලන්තය තරග වැදුණි. නවසීලන්තය 1987 ලෝක ශූරයන් වූ අතර ප්‍රංශය 1987 අනුශූරයින් විය. 1995 අවසන් තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පරාජය ලැබූ නිසා අහිමිවූ කිරුළ දිනා ගැනීමට නවසීලන්තය මෙවර කෙසේ හෝ අවසන් තරගයට යා යුතු විය. එහෙත් මෙවර නවසීලන්තයේ බලාපොරොත්තු බිඳ දමමින් දෙවැනි වරටද රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත් විය. ප්‍රංශය විසින් නවසීලන්තය පරාජය කළේ ලකුණු 43-31ක් වශයෙනි.

තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා තරගය පැවැතියේ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතරය. වේල්සයේ කාඩිෆ්හි මිලේනියම් ක්‍රීඩාංගණයේ පැවැති තරගය මෙම තරගාවලියේ පැවැති තියුණුම තරගය ලෙස නම් කළ හැකියි. දෙපිලම ලෝක ශූර කණ්ඩායම් දෙකක් වූ බැවින් කෙසේ හෝ තෙවැනි ස්ථානය හෝ දිනා ගැනීම දෙපිලේම එකම අරමුණ විය. පසුගිය වතාවේ අවසන් තරගයේ ප්‍රතිඵලය නැවතත් නවසීලන්ත ‘ඕල් බ්ලැක්ස්’ ක්‍රීඩකයන්ට මතක්කර දුන් දකුණු අප්‍රිකානු ‘ස්ප්‍රින්බොක්’ ක්‍රීඩකයෝ ඉතා තියුණු තරගයකින් පසුව ලකුණු 22-18ක ජයක් වාර්ථා කිරීමට සමත් වූහ.

අවසන් තරගය

1991 ලෝක ශූර රග්බි කණ්ඩායම වූ ඔස්ට්‍රේලියානු ‘වොලබීස්’ පිල නොවැම්බර් 06 වැනිදා කාඩිෆ්හි මිලේනියම් ක්‍රීඩාංගණයට පිවිසියේ දෙවැනි වරටත් ලෝක ශූරතාව දිනා ගැනීමේ අටියෙනි. එහෙත් යුරෝපයේ සත්කාරයෙන් පැවැති 1991 යුරෝපයේ පැවැති තරගාවලිය ඔස්ට්‍රේලියාව ජය ගත්තද මෙවර යුරෝපයේ පැවැත්වෙන තරගාවලිය ජයගැනීමට අධිෂ්ඨාන කරගත් යුරෝපා කණ්ඩායමක් වූ ප්‍රංශය ද මිලේනියම් ක්‍රීඩාංගණයට පිවිසියේ ඔස්ට්‍රේලියාවට හොඳ තරගයක් ලබා දීමේ බලාපොරොත්තුවෙනි.

එහෙත් ඉතා උපක්‍රමශීලී වූ ඔස්ට්‍රේලියානු ‘වොලබීස්’ කණ්ඩායම ප්‍රංශ ක්‍රීඩකයන්ට තරගයේ වාසිය අත්කර ගැනීමට ඉඩ ලබා නොදුන්හ. ඉතා පහසුවෙන්ම ප්‍රංශය අභිබවා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 35-12ක් ලෙස අවසන් මහා තරගයේ ජය වාර්ථා කරමින් දෙවැනි වරටත් රග්බි ලෝක ශූරතාවය දිනූ පළමු කණ්ඩායම බවට පත් විය.

තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ලෙස ලකුණු 102ක් ලබා ගත් ආර්ජන්ටිනාවේ ගොන්සාලෝ කත්වෙසෙඩා සම්මාන ලබද්දී වැඩිම උත්සාහක දිනුම් වාර්ථා කළ ක්‍රීඩකයා වූයේ නවසීලන්තයේ ජෝනා ලෝමුය. ලෝමු උත්සාහක දිනුම් 8ක් වාර්ථා කිරීමට සමත් විය.

[ ඩබ්.ආර්. කුමාර]

මාතෘකා