දැල්පන්දු චෝදනාව ගැන අපේ පැත්තෙනුත් අහන්න

 ඡායාරූපය:

දැල්පන්දු චෝදනාව ගැන අපේ පැත්තෙනුත් අහන්න

හයිසින්ත් - දීප්ති සහ වජිරා ගෙන් ඉල්ලීමක්

පාඩුවේ ඉන්න අපිට ඇයි කරදර කරන්නෙ දීප්ති අල්විස්

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයෙන් ක්‍රීඩාවට අවතීර්ණ වූ මා ජාතික තරුණ සේවා සභාවේ පන්නරය ලබා වසරක් පමණ කොළඹ නගර සභාවේ රැකියාව කළා. 1986 ශ්‍රී ලංකා වරාය අධිකාරයට බැඳුණු අතර මේ දක්වා වරාය අධිකාරියේ සේවය කරනවා.

පසුගිය දිනක ක්‍රීඩා අමාත්‍යාංශයට වෙනත් උවමනාවකට ගිය අවස්ථාවක මම ක්‍රීඩා ඇමතිතුමා හමුවුණා. එම හමුවීම ගැන උරණ වූ සහන් කසීර වික්‍රමසිංහ යන ලියුම්කරු විසින් ශ්‍රී ලංකාවට ආසියානු කිරුළ දිනා දුන් අපහට කල්ලියක් ලෙස හඳුන්වා ඉතා පහත් හැඳින්වීමක් කර තිබෙනවා. එයිනුදු නොනැවතී 2013 ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායමේ නායකත්වය සහ 2015 ලෝක ශූරතා කණ්ඩායමේ නායකත්වය හෙබවූ මාගේ දියණිය වූ සේමිණී අල්විස්ටද පෞද්ගලිකව නිග්‍රහකර තිබෙනවා. ලියුම්කරු සීතල කාමරයක සිට කවුරුන් හෝ සතුටු කිරීමට මෙසේ ලියන විට, දැඩි අව් රශ්මිය මධ්‍ය යේ දාඩිය, කඳුළු මැදින් රටට කීර්තිය ගෙනා පුහුණුකාරිණියන්ට, ක්‍රීඩිකාවන්ට මේ අයුරින් කිරීම කොතරම් සදාචාරාත්මක දැයි පළමුව බැලිය යුතුයි.

සේමිණී ක්‍රීඩා කරන විට අනතුරකට ලක්වී දණහිස ආබාධයකට ලක්වීම නිසා රෝද පුටුවකින් ගුවන් තොටුපොළට පැමිණීම සම්බන්ධයෙන් එම ලිපියේ දක්වා තිබුණේ අප දෙදෙනා එක්ව මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූ බවයි. එය ඉතා ජුගුප්සාජනක එකක් බවත් ඔහු ප්‍රකාශ කර තිබුණා. ඒ ලියුම්කරුට අපි කියන්නේ ක්‍රීඩාව ගැන ලියන්න ඉස්සර ක්‍රීඩාව ගැන දැනගෙන සිටිය යුතුයි කියායි. අපි එහෙම කියන්නේ ක්‍රීඩාව ගැන ලිවිමට විශේෂ දැනුමක් තිබිය යුතු බව අපි විශ්වාස කරන නිසයි. ක්‍රීඩාව, අනතුරු, ප්‍රතිකාර, පුනරුත්ථාපනය කියන කරුණු ගැන නිවැරදි අවබෝධයෙන් තොරව ලියන්න ගියාම සිදුවන්නේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට සහ ක්‍රීඩාවට හානියකුයි. ඒවගේම විවිධ පැති අරන් ලියන්න ගියාමත් මෙවන් දේවල් සිදු වෙනවා. ලංකා ඉතිහාසයේ පසුගිය වසර තුළ තිලකා සහ ට්‍රික්සි වෙනුවෙන් ලියපු බොහෝ අය මගේ සහ දියණියගේ පින්තූර පවා යොදා ගනිමින් ඉතාම ජුගුප්සාජනක ලෙස පහර ගැසුවා. ඒ අය අතරට ‘රැස’ පුවත්පතට ලියූ මෙම ලිපියත් ඒ ලේඛකයාත් ඇතුළත් වෙනවා. ඒ චෝදනාවලට මගේ ළඟ ඇතිතරම් සාක්ෂි තියෙනවා.

මේ සියලු චෝදනා හමුවේ මම දැඩි පර්වතයක් වගේ නොසැලී සිටියා. ඒ දේ කළේ ක්‍රීඩාවෙන් ලැබූ පන්නරය නිසායි. මම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණියක් ලෙසින් කටයුතුකළේ 2014, 2015 සහ 2016 යන කාල සීමාවෙයි. ඉතිං මම මේ සියලු චෝදනා 2019 වසර වෙනකම් ඉවසුවා. මම එහෙම ඉවසුවේ අසත්‍ය චෝදනා වුණත් ඒ තරගාවලිවල පුහුණුකාරිණිය මමනේ කියන හැඟීම නිසයි. ඒත් 2019 ලෝක ශූරතාවට ගියේ දැන් ඉන්න අයට කැමති කට්ටිය. එයාලමයි ලෝක ශූරතාව පැරදුණේ. තිලකා ජිනදාස පුහුණුකාරිණිය, ට්‍රික්සි නානායක්කාර කළමණාකාරිණී, චතුරංගි ශානිකා නායිකාව. ඒ අය ගහපු ලෝක ශූරතාව ගැන කිසිම දෙයක් කතා නොකරන ලියුම්කරුවා (හොරාට කලින් කෙහෙල්කැන පනිනවාමනේ) අවුරුදු 30ටත් කලින් ඉතිහාසය ගැන කථා කරනවා. ඇයි මේ වර්තමාන ක්‍රීඩාව ගැන කථා කරන්නේ නැත්තේ. මම පුහුණුකාරිණිය වෙන විට තරගාවලියට තිබුණේ මාස 3ක් 4ක් වගේ කාලයක්. පුහුණු තරග නැහැ. කොටින්ම කිසිම දෙයක් කරන්න ඉඩ දුන්නේ නැහැ. ක්‍රීඩිකාවන් නැවැත්තුවා. තර්ජනී ශිවලිංගම් ආවේ නැහැ. එයා නවීන් දිසානායක ඇමතිතුමා ළඟට ගිහින් කිව්වා ආයේ දැල්පන්දු ක්‍රීඩා කරන්නෙ නෑ කියලා. ඒත් ට්‍රික්සි සහ තිලකා අවහම නැවතත් ආවා. ඔය ලියන මහත්වරු ඒවා නොදන්නවා නෙවෙයි. ඒක තමයි සත්‍ය. මේ ජනමාධ්‍ය මහත්වරුන් ඒ අය කරන ඒ වැරදි දේවල් නිවැරදි කරන එකයි කළ යුත්තේ. ඔබලා උත්සාහ කළේ මට වඩා දෙයක් කරන්න නම් ඒ උත්සාහය හොඳයි. හැබැයි එයාලා ඒ දේවල් කළේ නැත්නම් අපිට ගහන්න එපා. අපි අයින් වෙලානේ ඉන්නේ. ඔවුන්ට තිලකාට ලැබුණු දේවල් සහ මට නොලැබුණු දේවල් ගැනත් මම කෙටියෙන් හරි කියන්නම්.

1.2019 ලෝක කුසලානය සඳහා 2018 ජනවාරි ආරම්භ කළ සංචිතය අවුරුදු එකහාමාරක් පමණ එක දිගට කළා. ඇත්තටම එහෙම තමයි වෙන්න ඕන.

2.පුහුණු තරග සඳහා ලොකු වියදමක් දරා බොට්ස්වානා සහ මලාවි යන්න අවස්ථාව දුන්නා - ඒකත් හොඳයි, පුහුණු තරග අව්‍යයයි.

3.ඊට අමතරව සිංගප්පූරුව, මලයාසියාව වැනි කණ්ඩායම් ලංකාවට ගෙන්වා ඔවුන් සමඟ පුහුණු තරග ලබාගත්තා. එංගලන්ත ක්‍රීඩා සමාජ සමඟ ක්‍රීඩා කරලා අත්දැකීම් ගත්තා.- එයත් ඉතාම හොඳයි පුහුණු තරග අවශ්‍යයි.

4.තරගාවලියට පෙර පුහුණු තරග සඳහා සති දෙකකට පමණ පෙර දේශගුණික හුරුවට කියා එංගලන්තයට ගියා.

5.මෙම අවුරුදු එකහාමාරක කාලය තුළ තිලකා මාසිකව රු. 150,000ක වැටුපක් ලබා ගත්තා.

6.තිලකා සමග තර්ජනී ක්‍රීඩිකාවද නැවත ක්‍රීඩාවට සම්බන්ධ වුණා. ට්‍රික්සි මහත්මිය අනෙක් අයට මෙන් කකුලෙන් අදිමින් ඔවුන්ට කරදර කළේ නැහැ. මේ සියලුම දේවල් මම කිරිමට යාමේදී මාහට අවශ්‍ය පහසුකම් ලබා නොදීමට ඇය දැඩි වෙහෙසක් දැරුවා.

7.ඊට අමතරව ලෝක ශූරතාවේ නායකත්වය දැරූ ජේයෂ්ඨ ක්‍රීඩිකාව පුහුණුකාරිණිය වන විට කටයුතු කිරීමට ඉඩ නොදුන්නේ අම්මටයි දුවටයි එකට ඉන්න දෙන්න එපා කියාය. එය එවකට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාද කීවේය.

2014 පුහුණුකාරිණිය වශයෙන්

2014 තුන්කොන් තරගාවලියේ විනිශ්චය ඉතාම දුර්වල තත්ත්වයක තිබුණු නිසා ක්‍රීඩිකාවන්ට අනතුරු වුණා. එම පරිපාලනයේ සිටියේ යසා රාමචන්ද්‍ර මහත්මියගෙන් එය දැන ගත හැකියි. ඒ තරගාවලිවල ආසියානු සහ ලෝක ශූරතා තරගාවලිවල මෙන් ප්‍රමිතියක් නැහැ. සහන්ට ඉදිරියේදී තරග නරඹා අත්දැකිම් ලබා ගන්නා විට ඒවා තේරුම් ගන්න පුලුවන්.

2015දි මාස 3ක් පමණ තමයි මට කණ්ඩායම පුහුණුකරන්න ඉඩ ලැබුණේ. ඒකේදි සම්මුඛ පරීක්ෂණය ඉවර වුණාම මාව තේරුණාම ආපසු අමාත්‍යාංශයට ගිහින් තේරීම වැරදියි කියනවා. ඊට පස්සේ නැවත පවත්වන සම්මුඛ පරික්ෂණයෙන් මාවම තේරෙනවා. ඉතිං කණ්ඩායම තෝරන්න පරක්කු වෙනවා. ඔය අතර තර්ජනී එන්නේ නෑ, චතුරංගි ඇමතිතුමා ළගට ගිහින් නායකත්වය ඉල්ලනවා. දැල්පන්දු සභාපතිනිය ගෙන්වා දැල්පන්දු ගැන ඔවුන් කතා කරනවා.

පසුව අපි කරපු කැපකිරීම අනුව එතුමා තිරණය කරනවා අපි දෙන්නව එකට තියන්න. ඒ අනුව ලෝක ශූරතා තරගාවලියේ නායිකාව දුව පුහුණුකාරිනිය මව ලෙස අපි තරගාවලියට යනවා. අපි ගැන කෙළින් තීරණයක් ගත්ත නවීන් දිසානායක ඇමතිතුමාට අපේ ප්‍රණාමය. පියෙක් ලෙස ගත්ත ඒ තීරණයට මම ගරුකරනවා. මගේ දුව කොළඹ විශාඛාවට ආවේ ගම්පහ ඉඳගෙනයි. ඇය අවුරුදු 13 ඉඳන් පාන්දර හතරට නැගිටලා කොළඹ ඇවිත් විශාල කැපකිරීමක් කරලා ජාතික දැල්පන්දු නායිකාව දක්වා දක්ෂතා වර්ධනය කරගත්තා.

මා ගැන කියනවා නම් මම 1986 1997 අතර කාල සිමාවේ ජාතික ක්‍රීඩිකාවක් වුණා. ඊට පසු පුහුණුකාරියක ලෙස කටයුතු කළා. ඒ 1997-2015 කාල සීමාවෙදි මේ සියලුම අත්දැකීම් ලබාගන්න දායකත්වය දුන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සුභවාදී ජනමාධ්‍ය, මගේ පවුලේ අය සහ ක්‍රීඩා ලෝලීන්. 2015 ලෝක කුසලානය අවසන් වීමත් සමගම අම්මවයි දුවවයි වෙන් කළා. අපිට ක්‍රීඩාව එපා කළා. අපි දෙන්නා ලෝක වාර්තාවක් තිබ්බා.

2016 ආසියානු ශූරතාව සඳහා සංචිත පටන් ගත්ත විට නැවත කලින් ප්‍රශ්නම ආවා. සම්මුඛ පරීක්ෂණ දෙක දෙක තිබුණා. ඒත් මම පුහුණුකාරිනිය වුණා. දුවත් කණ්ඩායමට තේරුණා. අවසාන තේරීම් තියෙනකොට දයාසිරි ජයසේකර ඇමතිතුමා තේරීම් කමිටුවට කිව්වා අම්මයි දුවයි ඉන්න එක සදාචාරාත්මක නැහැ කියලා. තේරීම් කමිටුව ඒ ගැන බලන්න කියලත් කිව්වා. ඒ තේරීම් කමිටුවේ හිටියේ හැට පැනපු කට්ටිය. කාලය අවසන් වුණත් සීතා රමණි, සකුන්තලා විජේතුංග යන අය අපි කුරුණෑගල කියලා නැවත තේරීම් කමිටුවට ආවා. අන්තිමට ඔවුන් ලෝක ශූරතා නායිකාවක් වුණ සේමිණීව අතිරේක ක්‍රීඩිකාවක් කළා.

මම සත්‍ය තොරතුරු ඇතුළත් වාර්තාවක් දයාසිරි ඇමතිතුමාට යොමු කළත් එයා කිසිදෙයක් කළේ නැහැ. අවසානයේ බොරු මාධ්‍ය වාර්තාවක් නිසා මගේ දුවව පළමු 7දෙනාට දැම්මා කියලා දයාසිරි ඇමතිතුමා කිව්වා. ඔහු නියෝග කළේ අතිරේක ක්‍රීඩිකාවන් ගෙදර යවන්න කියලා. ඒ අවස්ථාවේ මම ගොඩක් අසරණ වුණා. මට උදව්වට හිටියේ දැල්පන්දු සභාපතිනී යසා රාමචන්ද්‍ර, කළමනකාරිණී වජිරා පුෂ්පකුමාරි විතරයි. මට ගොඩක් කෙනෙහිලිකම් කළා. ඒත් අන්තිමට මම සිංගප්පූරුවට පරාජය කරලා ආසියානු අනුශූරතාව ගෙනාවා.

මට උසම ක්‍රීඩිකාව නැහැ, පුහුණු තරග නැහැ, අතිරේක ක්‍රීඩිකාවන් නැහැ, තිබුණු කාලය මාස 3යි. දුර්වල තේරීම් කම්ටුවක් (60 පැනපු), පිටත්වීම තරගාවලිය ආසන්නයේදීමයි සිදුවුණේ. කුඩා වැටුපක් මට දුන්නෙ. එදා තරගාවලිය ජය ගන්න තිබුණා දයාසිරි ඇමතිතුමා මගේ වාර්තාවට අවධානය යොමුකළා නම්. නමුත් අන්තිමට අපිට ලක්ෂ හත හමාරක තෑග්ගක් දුන්නා. පසුව හෝ ඒ ඇගයීම කිරීම ගැන එතුමාට ස්තුතිය පිරිනමනවා. 2017 ඒ දස්කම් සඳහා ජනාධිපති සම්මානද ලැබුණා. ඒ ගැනත් සතුටුයි.

දන්නේ නැත්නම් ඉගෙන ගන්න වජිරා පුෂ්පකුමාරි

ඔබ පුවත්පතේ සඳහන්කර තිබූ ආකාරයට මා කිසිම විටෙක අතිරේක ක්‍රීඩිකාවක් ලෙස 1994 ආසියාතික තරගාවලියට සහභාගී නොවූයෙමි.

තවද එහි සඳහන් කර තිබෙන ආකාරයට මා ප්‍රසිද්ධ ක්‍රීඩිකාවක්ද නැතිද යන්න එවක (අප ක්‍රීඩා කළ කාලයේ) සිටි මාධ්‍යවේදීන්ගේ දැන ගන්නා ලෙසද දන්වා සිටිමි. (ලේක් හවුස් ආයතනයේ සේවය කළ ලෙස්ලි ප්‍රනාන්දු, සුනිල් අභයවර්ධන, සිරාජිව් සිරිමාන්න වැනි මාධ්‍යවේදීන්ගෙන්)

නැවතත් මා අවධාරණය කර සිටින්නේ මේ සඳහන් කළ බොරුව නිවැරදි කරන ලෙසය. තවද මා 2016 ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ කළමණාකාරිනිය ලෙසද, මෙවර (2019) කණිෂ්ඨ කණ්ඩායමේ කළමණාකාරිනිය ලෙසද, ඉතාමත් හොඳින් මා හට පැවරූ රාජකාරි ඉටු කළ නිලධාරිනියකි. ඔබට විස්තර අවශ්‍ය නම් ක්‍රීඩිකාවන්ගෙන්ද, ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ගෙන්ද, අසා දැන ගැනීමට හැකිය. 1997 කණ්ඩායම් නායිකාව පි. ඩී. එන්. ප්‍රසාදි මහත්මියගෙන්ද එසේ දැනගත හැක.

මා නියෝජනය කළ කණ්ඩායම්

1985 ජාතික දැල්පන්දු පුහුණු සංචිතයට තේරීම

1987 ජාතික දැල්පන්දු කණ්ඩායමට තේරීම

1990 දෙවැනි ආසියාතික දැල්පන්දු ශූරතාවට සහභාගී වීම (ඉන්දියාව) - ශූරතාව දිනා ගැනීම.

1993 තුන්වැනි ආසියාතික දැල්පන්දු ශූරතාවට සහභාගිවීම - හොංකොං (තුන්වැනි ස්ඡානය)

1995 නවවැනි ලෝක ශූරතා කණ්ඩායමේ උපනායිකාව ලෙස සහභාගී වීම (එංගලන්තය)

1997 හතරවැනි ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගත් කණ්ඩායම නියෝජනය කිරීම (සිංගප්පූරුව)

2016 ආසියානු තරගාවලියේදී (තායිලන්තය) ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ කළමණාකාරිනිය ලෙස කටයුතු කිරීම. අනුශූරතාව දිනා ගැනීම.

2019 ශ්‍රී ලංකා කණිෂ්ඨ කණ්ඩායමේ (ජපානය) කලමනාකාරිනිය ලෙසකටයුතු කිරීම. 3 වැනි ස්ථානයට පත් වීම.

ශ්‍රී ලංකාව තුළ සහභාගීවූ තරගාවලි

ක්‍රීඩා උපදේශිකා - කොළඹ මහනගර සභාව (1984-86)

ජාතික ක්‍රීඩා උලෙළට ගම්පහ දිස්ත්‍රික් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කිරීම - ජාතික දැල්පන්දු ශූරතාව දිනා ගැනීම (1983 සහ 1987)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් දැල්පන්දු ජාතික ශූරතාව දිනා ගැනීම 1989, 1991 සහ 1998

බස්නාහිර පළාත නියෝජනය කරමින් ජාතික මහා ක්‍රීඩා උළෙලේ දැල්පන්දු ශූරතාව දිනා ගැනීම 1995 සහ 1997

ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායම වසර 15ක් නියෝජනය කරමින් ජනසතු සේවා දැල්පන්දු ශූරතාව දිනා ගැනීම.

දැල්පන්දු තේරීම් කමිටු සමාජිකාවක ලෙස කටයුතු කිරීම (2010)

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ උපසභාපතිනියක ලෙස කටයුතු කිරීම (2016-2017)

මගේ කාලයේ ආසියානු ශූරතාව ගිලිහුණේ නැහැ

හයසින්ත් විජේසිංහ

පළමුව මගේ කාලයේ ආසියානු ශූරතාව ගිලිහුණේ නැති බව තරයේ කියා සිටිමි. මා 2000 වසරේ පුහුණුකාරිනිය ලෙස පත්වූ අතර එහිදී ආසියානු ශූරතාව දිනා ගන්නා ලදී.

ඊළඟ චෝදනාව ‘‘මාස 3ක කාලයක් ඔස්ට්‍රේලියාවේ පුහුණුව ලබුවා‘‘ යන්නයි. මේ කථා කරන්නේ 2012 වර්ෂය ගැනයි. මෙහිදී මා ජාතික පුහුණුකාරිනිය වුවත් මට ඉහළින් විදේශීය උපදේශකවරියක් පත්කර තිබුණි. මාගේ කාර්යය භාර්ය වී තිබුණේ ඇයගේ උපදෙස් මත ක්‍රියාකිරීමයි. දෛනික් පුහුුණුවීම්ද ඇයගේ උපදෙස්මත සිදු විය. එකල පරිපාලනයේ තමරා ධර්මකීර්තිගේ උපදෙස වූයේ එයයි. මාස 3ක කාලයක් ඔස්ට්‍රේලියාවේ පුහුණුවීම් සිදු කළේ විදේශීය උපදේශකවරියට ලංකාවේ එම කාලය තුළ සිටීමට නොහැකි වීමයි. දැන් තිලකාට ඕන දේ ගත්තාට. අපිට එහෙම තිබුණේ නැහැ. පරිපාලනය දෙන දේ අපිට ගන්න සිදු වුණා. මේ තරගාවලිය ගැන ට්‍රික්සි නානායක්කාරගේ ඉල්ලීම පරිදි පරීක්ෂණයක් පැවැත්වූවා. එම වාර්තාව කියවා මා ගැන ලිපිය ලිව්වා නම් ඔබගේ පුවත මීට වඩා අගය කරන්න තිබුණා.

ඊළඟ කාරණාව මම 2012න් පසුව කුමන අවස්ථාවකවත් කැපිලා හිටියේ නැහැ. ඒ කාලයේත් ප්‍රධාන පෙළේ දැල්පන්දු කණ්ඩායමක් වුණ නාවික හමුදා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළා.

පුහුණුකාරිනියක් ලෙස මගේ සුදුසුකම්

1986-1999 දක්වා වරාය අධිකාරියේ පුහුණුකාරිනිය ලෙස කටයුතු කළා. ජාතික ශූරතාව 6 වරක් සහ අනුශූරතාව 3වරක් දිනා ගත්තා.

2000 ජාතික පුහුණුනාරිනිය (ආසියානු ශූරතාව)

2001 ආසියානු පුහුණුකාරිනිය

2002-2004 සිංගප්පූරු ජාතික පුහුණුකාරිනිය

2006-2008 ජාතික පුහුණුකාරිනිය ශ්‍රී ලංකාව

20011 ජාතික පුහුණුකාරිනිය ලෝක ශූරතාව

2012 ජාතික පුහුණුකාරිනිය ආසියානු ශූරතාව

2013 නාවික හමුදා පුහුණුකාරිනිය

2014 නාවික හමුදා පුහුණුකාරිනිය/ජයවර්ධන පුර විශ්ව විද්‍යාල පුහුණුකාරිනිය

2015 නාවික හමුදා / ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාල කණ්ඩායම්වල පුහුණුකාරිනිය

2016–2018 යුද හමුදා / ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල කණ්ඩායම්වල පුහුණුකාරිනිය

2019 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය / සුජාතා විදුහල් පුහුණුකාරිණිය

මෙහිදී නාවික හමුදාවේ අවුරුදු 10ක ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය සේවා තරගාවලියේ ගුවන්/යුද/පොලිස් කණ්ඩායම් පරදවා ජාතික ශූරතාවට සුදුසුකම් ලැබීම

2018දී ප්‍රථම වරට යුද හමුදාවට ආරක්ෂක සේවා ශූරතාව ලබාදීම.

2014දී වසර 10ක් අන්තර් විශ්ව විද්‍යාල ශූරතාවය දිනූ කොළඹ විශ්ව විද්‍යාල කණ්ඩායම පරදවා ශ්‍රීජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ශූරතාවය ලබාදිම.

මා මේ පෙන්වන කාරණා දැල්පන්දු පරිහානියටද නැතිනම් ජයග්‍රහණයට සහ සංවර්ධනයට කටයුතු කළේද යන්න වටහාගත හැක.

ඊළඟට එම ලිපියේ 2011 ලෝක ශූරතාවයේදී මා පුහුණු කළ කණ්ඩායම 14 වැනි තැනට පත් වීමත් 2019 තිලකාගේ කණ්ඩායම 16න් 15 විමත් සංසන්දනය කරමින් පවසන්නේ 2011 අප පරාජය කළ කන්ඩායම් ආසියානු කණ්ඩායම් බවයි. එසේ කියමින් 2011 කණ්ඩායම් ක්‍රීඩිකාවන්ට අවනම්බු කිරීමට ලියුම්කරු කටයුතු කර ඇත. ඔහු සිහිකැඳවා ගතයුත්තේ අප පරාජය කළේ මොන කණ්ඩායම්ද යන්න තේරුම් ගත යුතුයි.

2011 කණ්ඩායම 2019 කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටි බව කියන්න මම තවත් සාක්ෂි ඉදිරිපත් කරන්නට කැමතිය.

2011 ඔස්ට්‍රේලියාව සමග හැර අප පරාජය වූ අනෙක් සියලුම තරගවල ලකුණු පරතරය 10ට අඩුවෙන් තබා ගන්න අප සමත් වුණා.

2011 ප්‍රතිඵලය / 2019 ප්‍රතිඵලය

උතුරු අයර්ලන්තය 65-56 (ලකුණු 9යි) / 67-50 (ලකුණු 17)

සැමොවා 57-53 (ලකුණු 4යි) / 65-55 (ලකුණු 10)

බාබඩොස් 63-59 (ලකුණු 4යි)

බොට්ස්වානා 59-54 (ලකුණු 5) / මෙවර ඔවුන් වෙනුවට සිම්බාබ්වේ 79-49 (ලකුණු 30)

ඔස්ට්‍රෙලියාව 97-20 / 99-24

මාස 6ක පුහුණුව /- අවුරුදු දෙකකට ආසන්න පුහුණුව

ලෝක ශූරතාවට දවස් දෙකකට කලින් යෑම.

ශූරතාව අවසන් වූ වහාම පැමිණීම

2014දී මා උපදේශක කනතුර ලබා එල්ලි ගියේ නැත. එය මාහට පරිපාලනය ලබා දුන්නේ පරිපාලනය විසින. එම තරගාවලියේ අප අනුශූරතාව අත්කරගත් අතර මම Official Bench එකේ නොසිටි බවත් සඳහන් කරමි.

මා නීති විරෝධී කණ්ඩායමක පුහුණුකාරිණිය ලෙස නැවත කරලියට පිවිසියේ නැත. මම දිගටම කරලියේ සිටියෙමි. යුද හමුදාව විසින් යුදහමුදාවට අයත් නොවන ක්‍රීඩිකාවන් ඉදිරිපත් නොකරන්නේනම් එය ඔවුන්ගේ පරිපාලනයේ වරදකි. කෙසේ නමුත් මා දන්නා පරිදි එම ක්‍රීඩිකාවන් සියලු දෙනා නියමිත ක්‍රියා පිටිපාටිය අනුව යුදු හමුදාවට සෙබලියන් ලෙස බැඳුණු අයයි. එප්පාවල ක්‍රීඩිකාවන් 3 දෙනෙකු නොව 5දෙනෙක් බඳවා ගන්නා ලදී. ඔවුන් දෙවන වර උසස් පෙළට පෙනී සිටියේද පෞද්ගලික අයදුම්කාරිණියන් ලෙසය. යුදු හමුදා කණ්ඩායම නුසුදුස්සන් වූයේ විශාල කුමන්ත්‍රණයකිනි. අදටත් එය පැහැදිලි නැත. මා පහුණුකාරිනිය පමණකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 15ක් කාලයක් ක්‍රීඩිකාවක ලෙසත්, ඉන්පසුව පළමු ආසියානු ශූරතාව ලබා ගනිමින් රටට ලබාදුන් ජයග්‍රහණයත්, ඉන් පසුව අවුරුදු 7කට වඩා ශ්‍රී ලංකා ජාතික පුහුණුකාරිනිය වශයෙනුත් ආසියානු ශූරතාව ජය්‍රහණය ලබාදුන් මා ආසියාවේ පුහුණුකාරිය වශයෙන්ද දැනට අන්තර් ජාතික මට්ටමේ අදියර තුන විභාගයද සමත් මාහට ඔබේ පුවත්පතේ පළවූ අසත්‍ය කරුණු ඇතුළත් හා ද්වේෂ සහගත ලිපිය හෙළා දකිමි.

දැල්පන්දු නිලවරණය සම්බන්ධයෙන් රට තුළ ඊයේ දිනයේත් පැවතුණේ දැඩි උද්යෝගයකි. ඒ දැල්පන්දු නිලවරණය පැවැත්වීම යෙදී තිබුණේ එදින වීම හේතුවෙනි. දැල්පන්දු සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා ලිපියක් පළකිරීමට 'රැස' කටයුතු කළේය. මේ ලිිපිය පළ කළදා සිට පසුගිය දින කීපයම ‘රැස’ ප්‍රධාන කර්තෘගේ මෙන්ම ක්‍රීඩා අංශයේ සාමාජිකයන්ගේද දුරකථනවලට නිවනක් නොවුණේය. ඒ තමන් ගැන කරුණු දක්වමින් ලියා තිබූ ලිපියට පිළිතුරුදීමට අවශ්‍ය බව කියමිනි. පසුව ඔවුන් ඒ ලිපිය යන්නේදැයි විමසන්නට විය. ඔවුන් මෙලෙස පිළිතුරු දීමට සූදානම්ව සිටින්නේ පසුගියදා ‘සහන් කසීර වික්‍රමසිංහ’ නමැති ලේඛකයා විසින් ලියා එවනු ලැබූ දැල්පන්දු අර්බුදය සම්බන්ධ ලිපිය ගැනය. එම ලිපිය පළකිරීමේදී අප එයට අනුමාතෘකාවක් යෙදුවේ ‘දැල්පන්දුවේ කෙහෙවළු අන්දරය’ ලෙසය. එකී විශේෂිත හැඳින්වීම කරන්නට අප අමතක නොකළේ එය පාර්ශ්ව ගණනාවක් පටලවා ගැනීමේ පළමු ලියැවිල්ල වන බව අත්දැකීම් දන්නා නිසාය. අප එය එසේ අනුමාතෘකාවක් යෙදුවේ මෙකී ලිපිය පළකළ පසු අනේකවාරයක් දුරකථන ඇමැතුම්, ප්‍රතිපිළිතුරු ලැබිය හැකි හෙයිනි. එය එකපෙළට තැබූ කාඩ් පේළියක එක් කාඩයක් පෙරළු පසු සියල්ල පෙරළීයන ලෙසට නැතහොත් එකක් පසුපස එකක් ලෙස මුහුදු රැළි මතුවන ආකාරයට පැන නගින බව දන්නා බැවිනි. එය අපේ උපකල්පනයක් නොව ප්‍රත්‍යක්ෂ කාරණයකි.

ප්‍රත්‍යක්ෂ ලෙස දැනසිටි පරිදිම ලිපිය පළවී දින කීපයක් යනවිට එම ලිපියේ සඳහන් දැල්පන්දුවේ නෝනාවරුන් තිදෙනෙක් කාර්යාලයට පැමිණියහ. එලෙස පැමිණ තමන්ගේ පාර්ශ්වයෙන් දීර්ඝ ලෙස කරුණු දැක්වීමටත් පටන් ගත්හ. ඔවුන් මෙම ලිපිය ලියූ ලියුම්කරුවා ‘රැස’ක්‍රීඩා කර්තෘවරයාගේ පුත්‍රයෙක්දැයි වටින් ගොඩින් විමසුවේ එය ඒකපාර්ශ්වික හා පක්ෂග්‍රාහීයැයි පවසමිනි. එ්වා පෞද්ගලික කාරණාය. එහෙත් වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පටලවාගනිමින් මාධ්‍ය සතු වගකීම් පැහැර හැරීමට සූදානම් නැත. යම් ලිපියක් සම්බන්ධයෙන් විවේචනයක් ඇත්තේනම් ඒ සඳහා පිළිතුරුදීමට අයිතිය අනෙක් පාර්ශ්වය සතුව ඇතිබව අපි ඉතා ඉහළින් පිළිගනිමු. ඔවුන් මෙම පිළිතුරු තුළ සටහන්කර තිබූ (සංශෝධනය කර ඉවත්කර ඇත) ඇතැම් පක්ෂග්‍රාහී යැයි කියන පුද්ගල නාම අතරට එක්වන්නට ‘රැස’ කර්තෘ මණ්ඩලය වශයෙන් අපට කිසිදු උවමනාවක් නැත. මෙම පිළිතුරු ලිපි සඳහා අදාළ ලිපියට තරම් ඉඩක් ලබාදෙන්නේත් එම පිළිතුරු ලබාදීමේ අයිතිය සුරක්ෂණය කරන්නටය.

මාතෘකා