හතුරු උත්තර බඳියි

 ඡායාරූපය:

හතුරු උත්තර බඳියි

 

අවසන් තීන්දුව විධායක කමිටුව හමුවේ 

 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතාට ක්‍රිකට් ආයතනය විසින් ලබාදුන් චෝදනා පත්‍රයට පිළිතුරු ගොනුකර තිබේ. අදාළ පිළිතුරු ඇතුළත් වාර්තාව මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභිකයන් අතට පත්ව ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. ‘ඔහු තවම ශ්‍රී ලංකාවේ සිටිනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට ලබාදුන් චෝදනා පත්‍රයට පිළිතුරු ගොනුකිරීමටත් මේවනවිට ඔහු කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී ගතයුතු තීන්දුව මොකක්ද කියන කාරණය ඒ පිළිතුර අධීක්ෂණය කරලයි නිගමනයකට එළඹෙන්නෙ. එය සාමාන්‍යයෙන් සතියක වගේ කාලයක් ගතවිය හැකි තීන්දුවක්. යථාකාලයේදී අප ඒ ගැන දැනුම් දෙන්න අපේක්ෂා කරනවා’ යැයි එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ අතර තවත් ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ලබාගත් හිටපු සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අසංක ගුරුසිංහ මහතාගේ සේවය ලබාගන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණයද ගැනීමට නියමිත බව එම ප්‍රකාශකයා පැවසීය. විධායක සභිකයන් සිදුකළ සාකච්ඡාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කළේය.

‘එය ඉදිරි කාලයේදී අපට හෙළිකළ හැකියි. අසංක ගුරුසිංහ මහතා තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්නවාද නැද්ද කියන එක තීරණය වන්නේ එවිටයි’ ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

 

මාතෘකා