ශ්‍රී ලංකාව පාකිස්තානයට යනවා නම් යන්නේ එක්දින තරගාවලියට!

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව පාකිස්තානයට යනවා නම් යන්නේ එක්දින තරගාවලියට!

 

[කසුන් ඉරුගල්බණ්ඩාර

පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීමට පිටත්වයාමට ඇති හැකියාව අවම වන හෙයින් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීමට කැමැත්ත පළකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභාවේ අවධානය යොමුව ඇත. නිල නොලත් වාර්තාවලට අනුව දැක්වුණේ පාකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් ගැටලුවක් නොදකින නමුත් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සහතික ලබාදීමට ඇති නොහැකියාව හේතුවෙන් එම තරගාවලිය එක්දින තරගාවලියක් බවට පෙරළාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් 'රැස' කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ පාකිස්තානය ශ්‍රී ලංකාවේ හිතමිතුරු රාජ්‍යයක් වන බැවින් ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයට අසීරු බවයි. ‘දැන් පාකිස්තානයේ තත්ත්වය හුඟාක් වෙනස්. ත්‍රස්ත ක්‍රියාවන් පාලනය කරන්න ඔවුන්ගේ ආරක්ෂක අංශ සමත්වෙලා තිබෙනවා. ඒ වගේම තමයි අපිට අර්බුදකාරී තත්ත්වයක් ඇතිවූ සැමවිටම අපි වෙනුවෙන් ඔවුන් පෙනීසිට තිබෙනවා. ඉන්දියාව සහ පාකිස්තානය වැනි දේශපාලන විරසක භාවයන් පුළුල් රාජ්‍යයන් දෙකක් 1996 ලෝක කුසලාන වෙලාවෙදී ඒකාබද්ධ කණ්ඩායමක් නිර්මාණය කරගෙන ලංකාවට ආවා. ඇවිත් තරගයක් ක්‍රීඩාකරලා අපේ ආරක්ෂාව තගර පවත්වන්න ප්‍රමාණවත් කියලා පෙන්නුවා. පසුගිය දිනවල අයි.එස්. සම්බන්ධයක් සහිත උමතු ත්‍රස්ත කල්ලියක් සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඇතැම් රාජ්‍යයන් ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකියැයි පවසද්දී පාකිස්තානය යොවුන් කණ්ඩායමක් ලංකාවට එව්වා. ඔවුන්ගේ රටේ ස්ථාවර භාවයට, සිවිල් රාජ්‍යයක් වශයෙන් ලෝකය තුළ තක්සේරුවක් ඇතිකරගන්න අපිත් ඔවුන්ට ප්‍රතිඋපකාර කළ යුතුයි.

ඒ තත්ත්වය ක්‍රීඩාවේදී ප්‍රවර්ධනය කරන්න අපට අවශ්‍යයි. නමුත් අපිට අපේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන ඉතාමත් ගැඹුරින් සලකලා තමයි ඒවගේ තීරණයක් ගන්නෙ. බොහෝ දෙනෙකුගේ අදහස ටෙස්ට් තරගාවලියක් වෙනුවට එක්දින තරගාවලියකට සහභාගිවීම සුදුසුයි කියලයි. ඒත් අපි තවම ඒ ගැන නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ’ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මාතෘකා