ශ්‍රී ලංකාව අලුත් ගමනක ශෙහාන් හා වනිඳුගේ අවස්ථා පුළුල් කළ යුතුව තිබේ

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව අලුත් ගමනක ශෙහාන් හා වනිඳුගේ අවස්ථා පුළුල් කළ යුතුව තිබේ

ලෝක කුසලානය සිතූ තරම් අසාර්ථක නොවී ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු පළමු අභියෝගය වූයේ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයයි. එයද තරමක් අභියෝගාත්මක තරගාවලියක් වූයේ ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායමද විශිෂ්ට නොවූවත් යම් තරමකින් දස්කම්දැක්වීම නිසාය. එසේම පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයෙන් පමණක් නොව ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තානයෙන් පවා පරාජය ලැබීය.

එවැනි වටපිටාවක බංග්ලාදේශ කණ්ඩායම සමග තරගාවලිය 3-0ක් ලෙස ජය ගැනීමද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මඳ අස්වැසිල්ලකි. තරගාවලිය ජය ගැනීමේ අභියෝගය සම්පූර්ණයෙන්ම පාහේ පැටවුණේ නායකයා වශයෙන් දිමුත් කරුණාරත්නගේ කරමතටය. ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම කරුණාරත්න මෙතෙක් කල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් සියලුම නායකයන්ට වඩා වෙනස් ආකාරයකින් කණ්ඩායම හසුරවමින් තමන්ට අවශ්‍ය මෙන්ම මෙම අස්ථාවේදී ශ්‍රී ලංකික ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය කාර්යය ඉෂ්ට කිරීමට සමත් විය.

බංග්ලාදේශ තරගාවලිය අවසන් වන විටද පිතිකරුවෙක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් පෙරේරා ඉදිරියට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා ඔවුන් දෙපලගේ දායකත්වය බෙහෙවින්ම ඉවහල් විය. අවසන් තරග දෙකේදී කුසල් මෙන්ඩිස්ද ලකුණු අතරට පැමිණීමට සමත් විය.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට පමණක් නොව නායකයාටද ඉදිරියේ ඇති ප්‍රධානම අභියෝගය ලෙස සැලකිය හැක්කේ ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාව ජයග්‍රාහී කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමට ගොනුකර ගන්නේ කෙසේද යන කාරණයයි. සෑම තරගාවලියක්ම ජය නොගත්තත් තරගාවලි වැඩි සංඛ්‍යාවක් ජය ගැනීමට සමත් කණ්ඩායමක් ගොනුකර ගැනීම ප්‍රධානම අභියෝගයයි.

ලෝක එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු ලෙස ඉදිරියෙන්ම සිටින්නේ එහි 35 වැනි ස්ථානයේ සිටින ඇන්ජලෝ මැතිව්ස්ය. එහෙත් මැතිව්ස්ගේ සේවය ඊළඟ ලෝක කුසලාන තරගාවලිය දක්වා ලබාගත හැකි වේදැයි බලවත් සැකයක් පවතී. ඒ පසුගිය කාලයේදී ආබාධ සහ අසාර්ථකවීම් රැසකට ඔහු මුහුණපෑ හෙයිනි.

බංග්ලාදේශය සමග අවසන් තරගයේදී ක්‍රීඩා කළ දසුන් ශානකගේ තුන් ඉරියවු දස්කම් මෙන්ම හැකියාවන් පෙන්වීමට අවකාශ නොලබුණු ෂෙහාන් ජයසූරිය සහ වනිඳු හසරංගහට ඉදිරියේදී කොතරම් අවස්ථාවන් ලැබෙනවාද යන්න ශ්‍රී ලංකා නායකයා අවධානය යොමු කළ යුතුය. මන්ද එම තරගයේදී දසුන් ශානකට තම හැකියාව පෙන්වීමට යම් අවස්ථාවක් ලැබුණද. අවසන් පන්දු වාර කිහිපයේදී පිටියට පැමිණීම නිසා දස්කම් අතරට යාමට අවස්ථාව නොලැබුණු ෂෙහාන් ජයසූරියට සහ වනිඳු හසරංගට තවත් අවස්ථාවන් ලබාදීම අත්‍යාවශ්‍ය කරුණක්ව ඇති හෙයිනි.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී රිද්මයකට පැමිණීමට ඉවහල් වන වෙනස්කම් සිදුකරමින්ම ජයග්‍රාහී ගමනක් යායුතු අතර ඊළඟ ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා නොකරනු ඇතැයි විශ්වාස කෙරෙන ක්‍රීඩකයනට ආදේශක මේ අතරම අත්හදා බැලිය යුතුය. එය කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා නායකයාටද එල්ලවී ඇති ප්‍රධානම අභියෝගයයි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව (පන්දුවාර 50දී, කඩුලු 8ක් දැවී) 294

(ඇන්ජලෝ මැතිව්ස් 87, කුසල් මෙන්ඩිස් 54, දිමුත් කරුණාරත්න 46, කුසල් පෙරේරා 42, දසුන් ශානක 30, සෝම්‍යා සර්කාර් 3/56, සයිෆුල් ඉස්ලාම් 3/68)

බංල්දේශය (පන්දුවාර 36කදී, සියලුදෙනා දැවී) 172

(සෝම්‍යා සර්කාර 69, තයිජුල් ඉස්ලාම් 39, අනමුල් හක් 14, දසුන් ශානක 3/27, කසුන් රාජිත 2/17, ළහිරු කුමාර 2/26)

මාතෘකා