මගේ පාලන සමයේ ක්‍රීඩිකාවෝ තෘප්තිමත් : ට්‍රික්සි නානායක්කාර

 ඡායාරූපය:

මගේ පාලන සමයේ ක්‍රීඩිකාවෝ තෘප්තිමත් : ට්‍රික්සි නානායක්කාර

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩාවේදී කුරුල්ලකුට තමන්ගේ ඉහළින් පියඹන්නට නොදුන් අතළොස්සක් පරිපාලිකාවන් අතර ට්‍රික්සි නානායක්කාරද අමතක කළ නොහැකි චරිතයකි. ගැහැනියක් වූ පමණින් සමාජ සම්බාධක නොමැති බවත් පිරිමින් හා උරෙනුර ගැටී කාන්තාවන්ගේ ක්‍රීඩාවකට සාධාරණය සොයා යාමට නායකත්වය දීමේ හැකියාවෙන් තමන් ශක්ති සම්පන්න බවත් ඈ පසුගිය කාල වකවානුව පුරා ප්‍රකාශ කළාය. ක්‍රීඩා අමාත්‍යවරුන් තිදෙනෙකු යටතේ ලේකම්වරුන් දෙදෙනකු සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරු තිදෙනකුට ආසන්න සංඛ්‍යාවක් සමඟ ඈ සභාපතිනියක වශයෙන් ගනුදෙනු කළාය. පසුගියදා ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය ඇගේ පරිපාලන ජීවිතයේ අවසන් තරගාවලිය වශයෙන් සනිටුහන් විණි. දැල්පන්දු නිලවරණයට නාම යෝජනා බාරගෙන ඇති වකවානුවක ‘රැස’ ඈ හා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය අවසන්. එහි අපි දහ වැනියා වෙන්න බලාගෙන හිටියත් අපිට වෙන්න පුළුවන් වුණේ 15 වැනි ස්ථානයයි. මොකද වුණේ?

මම කණ්ඩායම භාරව ගිය කළමනාකාරිණිය පමණයි. මම පුහුණුකාරිණිය නොවෙයි. එය පුහුණුකාරිණියගේ වාර්තාවෙන් පිළිතුරු සපයා ගතයුතු කාරණයක්. හැබැයි පුහුණුකාරිණිය ඉල්ලූ ආකාරයටම මම ජාතික දැල්පන්දු කණ්ඩායමට පෙර පුහුණු කටයුතු වෙනුවෙන් මැලේසියාව සහ කෙන්යාව සහභාගි කරවාගෙන සිව්කොන් තරගාවලියක් සංවිධානය කළා. අපේ ක්‍රීඩිකාවන්ට අප්‍රිකානු කලාපයේ ක්‍රීඩා විලාසය ගැන අත්දැකීම් ලබාගන්න හැකිවෙන්න බොට්ස්වානා රාජ්‍ය යේ තරගාවලියකට රැගෙන ගියා. එංගලන්ත කාලගුණයට හුරුවන්න කණ්ඩායම කල් ඇතිව එරටට රැගෙන ගොස් තරග කීපයකට තරගවදින්න අවස්ථාව හදලා දුන්නා. ඉතින් කළමනාකාරිණී වශයෙන් මම මගේ කණ්ඩායමට හැකි උපරිම සේවය ලබාදී තිබෙනවා.

ඒ කියන්නේ කළමනාකාරිණිය වශයෙන් ඔබ සාර්ථක වුණත් පුහුණුකාරිණියගේ පැත්තෙන් අසාර්ථක භාවයක් පෙන්වා තිබෙනවා කියලද?

නෑ. ඇය තමයි අපිට ඉන්න විශිෂ්ටම පුහුණුකාරිණිය. ඈ වසර නවයකට පසුව ආසියානු ශූරතාව වෙනුවෙන් කණ්ඩායමට පුහුණුව ලබාදුන්නා. නවීන තාක්ෂණ ක්‍රම භාවිත කරමින් ඈ තමන්ගේ පුහුණුව රැගෙන යනවා. මෙතැනදී වුණේ ඒ දේ නොවෙයි. මම කිසිම වෙලාවක එහෙම කියන්නෙ නෑ.

එහෙනං මොකද වුණේ?

නෑ මම දැකපු විදිහට අපේ ක්‍රීඩිකාවන් කොතරම් දක්ෂ විදිහට ක්‍රීඩා කළත් ඔවුන්ට ආසියාවට ඔබ්බෙන් පිහිටි කණ්ඩායම්වල ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා රටාවට අනුගත වෙන්න නොහැකිවුණා. විශේෂයෙන් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් ජවාධිකයි. ඔවුන්ට හැකියාව තිබෙනවා අනෙක් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙ ඇඟේ ගැටෙමින් ක්‍රීඩා කරලා තමන්ගේ ජයග්‍රහණය උදුරා ගන්න. නමුත් අපේ ක්‍රීඩිකාවන්ට එහෙම ක්‍රීඩා කරන්න තවම හැකියාවක් නෑ. භෞතික සාධක ගත්තත් අපිට අවාසියක් තිබෙනවා. ඔවුන් අපිට වඩා ශක්තිමත්. මතක තියාගන්න මේ තරගාවලියේදී අපි අපේ උපරිමය කළා කියන එක.

නමුත් ජාතික දැල්පන්දු පිල අසාර්ථක වුණු එක ගැන පරීක්ෂණයක් ඉල්ලලා කණ්ඩායමක් ක්‍රීඩා අමාත්‍යංශයට ගිහින් තිබෙනවා?

ඒ ගැන මට කියන්න තියෙන්නේ ඔය කියන අය පුහුණු කළා නම් අපි ලෝක ශූරියන් වෙයිද? අතීත වාර්තා අරං බලන්න. වසර නවයකින් අපි ආසියානු ශූරියන් කළේ මගේ පාලන කාලයෙයි. මගේ කමිටුව, මගේ පාලනය යටතේ තෝරාගත්ත පුහුණුකාරිණිය තමයි ඒ දේ කළේ.

ඔබගේ පාලනය ඉවත් කරලා අතුරු කමිටුවක් පත්කරන්න ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළා. එවැනි පසුබිමක් තිබියදීත් ඔබ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට කළමනාකාරිණිය වශයෙන් යනවා. ඇත්තටම මෙම තරගාවලියේදී ජයග්‍රහණයන්ට වඩා ඔබ ඇතුළු පිරිසට තිබුණේ සංචාරයක නිරතවීමේ අදහස පමණයි කියලා චෝදනා කළොත්?

සෘජුවම ප්‍රතික්ෂේප කරනවා. සංචාර යන්න දැල්පන්දු කණ්ඩායමට එක්වෙන්න ඕනෑ නෑ. සල්ලි තියෙන කෙනෙකුට තමන්ගේ සංචාර යන්න හැකියි. අනික මම මේ ගමන ගිහිල්ලා කළමනාකාරිණිය වශයෙන් වැය ඇස්තමේන්තුව සීමා කරගෙන තිබෙනවා. මගේ පෞද්ගලික සම්බන්ධතාවලට අනුව කණ්ඩායමට නවාතැන්, ආහාර වගේ දේවල් නොමිලයේ සම්පාදනය කරගත්තා. දැන් මම සැලකිය යුතු මුදලක් ආපහු ක්‍රීඩා අමාත්‍යංශයට ලබාදෙන්න සූදානම්. අනෙක ඔබ කරන චෝදනාව ගැන මට තවත් යමක් කිවයුතුයි. මම පමණක් නොවෙයි අපේ කමිටු සාමාජිකාවන් කරන්නේ ස්වේච්ඡා සේවාවක්. මම මා ගැන කතාකරනවා නම් මගේ වාහනයෙන්, පෞද්ගලික මුදලින් පෙට්‍රල් ගහගෙන එන්නෙ. ඒ මම ක්‍රීඩිකාවක්, නායිකාවක්, පුහුණුකාරිණියක් ඇතුළු විවිධ භූමිකා දරපු නිසා. මට ක්‍රීඩාව ගැන කැක්කුමක් තියෙන නිසා.

ඔබ දැල්පන්දු සම්මේලනයේ දීර්ඝ කාලයක් නිලධාරිනියක් ලෙස කටයුතු කළා කියන චෝදනාව එන්නෙත් මේ සංචාර හේතුවෙනුයි?

කවුද කියන්නේ මම මේක බදාගෙන ඉන්නවා කියලා. මම එකවතාවක් සභාපති වෙලා හිටියා. ආයෙ ලේකම්වෙලා හිටියා. දැන් මේ වසර දෙක මම සභාපති වුණා. එච්චරයි. නැතිව මම සම්මේලනයේ තනතුරු බදාගත්ත බහිරවයෙක් වෙලා නෑ.

ජාත්‍යන්තර තරගාවලි වෙනුවෙන් ඔබ සැලසුම් හැදුවට දේශීය තරග පවත්වන්න උනන්දුවක් නෑ කියලා චෝදනාවක් නැඟුණා?

ඒවා ඔක්කොම හිතලු. දැන් බලන්න මම ජාතික දැල්පන්දු ශූරතාව නව ක්‍රම වේදයකට අනුව පැවැත්වුවා. ඉස්සර දවස් දෙකෙන් ගහපු මූලික වටයේ තරග කාර්තුවක් මිනිත්තු දහයෙන් අවසන් කරපු යුගය මම නිමාකළා. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව දැල්පන්දු ගහන්න අවශ්‍යයි කියලා මගේ කාලයේදීයි තීරණය කළේ. ගෘහස්ථ ක්‍රීඩාගාර ඇතුළේ දැල්පන්දු ගහන්න අවශ්‍යයි කියලා මමයි තීරණය කළේ. දිවයින පුරා ගිහින් දැල්පන්දු ප්‍රචලිත කරන්න අවශ්‍ය කටයුතු කළේ මගේ කාලයේයි. මම තියපු දේශීය තරගාවලි ගාණ බලලා කතාකරන්න. කවුරුවත් කියන දේවල් අහන්න ඉස්සර වෙලා ඒ ගැන බලන්න. එතකොට ඇත්ත තේරේවි.

දැන් මෙතැන ඉඳලා දැල්පන්දු ක්‍රීඩාව ගොඩනැංවීම කරන්නෙ කොහොමද?

ඒක මීළඟට පත්වන දැල්පන්දු සම්මේලනයේ කාර්යයක්. මමත් මගේ කමිටුවත් යම් තැනකට ක්‍රීඩාව අරගෙන ආවා. එතැන සිට ඉදිරියට රැගෙනයාමයි අලුත් පරිපාලනය කළ යුත්තේ.

ඒ කියන්නෙ ඔබේ උපකාරය දැන් අවසන් කියලා?

නෑ. මම හැමදාම ක්‍රීඩාව එක්ක ඉන්නවා. ක්‍රීඩාව මගේ ජීවිතයේ විශාල කොටසක්. ඒකට මම හැමදාම ආදරෙයි. මම මගේ සේවය අවස්ථානුකූලව ලබාදෙන්න සූදානම්.

උස මත අපි බොහෝ තීරණ ගන්නවා. නමුත් වේගය, දරාගැනීම වැනි බොහෝ දේ ක්‍රීඩාවේ ඉදිරියට යාමට වැදගත්. දැන් තර්ජනී මත යැපෙන්න අපට අසීරුයි. ජාත්‍යන්තරයට යනවා නම් අපි බොහෝ උපක්‍රම සහ තාක්ෂණික ක්‍රමවේද සකස් කරගත යුතුයි නේද?

ඔව්. අපි අපේ ඇතැම් අක්‍රිය දැල්පන්දු සංගම් ක්‍රීඩිකාවන් හඳුන්වා දෙන්නේ නැති නිසා ගමට ගිහින් ක්‍රීඩිකාවන් සොයාගත යුතුයි. තර්ජනී වගේ උස අයත්, වේගවත් ක්‍රීඩිකාවොත් සොයාගන්න වෙනවා. ඔවුන් ක්‍රීඩා කරන තැන වෛද්‍ය අංශයේ උපදේශය මත සිදුකළ යුතුයි.

සිංගප්පූරුව වගේ රටවල පහසුකම් සහ හොඳ ගෙවීම් ලබාගන්න හැකියි. අපේ පුහුණුකාරිණියන්, ක්‍රීඩිකාවන්ට සිංගප්පූරු දැල්පන්දු කණ්ඩායම් එක්ක අවස්ථාවක් හදලා දෙන්න උත්සහයක් ගන්නෙ නැද්ද?

මගේ තිබෙන සම්බන්ධතා එක්ක එවැනි දෙයක් කරන්න මමත් කැමතියි. ක්‍රීඩාව වෘත්තීය තලයකට ගේන්න හැකිනම් එය ඉතාම වැදගත්. මට ලැබෙන අවස්ථාවන් එක්ක මම ඒ වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරනවා.

දැන් දැල්පන්දු ගිනුම තරමක් බරවෙලා කියලා කියැවෙනවා?

අපි ගත්තෙ හිස් භාණ්ඩාගාරයක්. අපි අනුග්‍රාහකයන් සොයාගත්තා. මුදල් ලැබෙන්න වැඩපිළිවෙලක් හැදුවා. ඒවා පරිපාලන හැකියාව, ක්‍රීඩා සැලසුම් හා ඒවායෙන් ලැබූ ප්‍රතිඵල මත ලබාගත් ඒවා.

ඔබ පරිපාලනයෙන් යන්නේ කළකිරීමෙන්ද?

අනේ නැහැ. මම කිව්වා මම දෙවැනි වර ඉල්ලන්නෙ නෑ කියලා. ඒක සභාපති වෙද්දී මම කිව්ව කතාවක්.

ඒ කියන්නේ ඔබ යන්නෙ සතුටින්?

ඔව්. මට මගේ දැල්පන්දු ක්‍රීඩිකාවන් තෘප්තිමත් කරන්න හැකිවුණා. ඔවුන් ආසියාව දිනුවා. ලෝක කුසලානයේදී උපරිම හොඳින් ක්‍රීඩා කළා. ආසියානු ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන්, නිවාස අමාත්‍යංශයෙන් ක්‍රීඩිකාවන්ට සාධාරණයක් කළා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් ලෝක කුසලානයට යන්න අවශ්‍ය මූල්‍යාධාර ලබාදුන්නා. ඉතින් මම යන්නෙ බොහොම සතුටින්. ඒක දෙගුණ තෙගුණ වන්නේ හොඳ කණ්ඩායමක් බලය අත්පත් කරගන්නවානම් තමයි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා