යුද්ධයක් ආරම්භ කළ පා පහර

 ඡායාරූපය:

යුද්ධයක් ආරම්භ කළ පා පහර

2018 ක්‍රොඒෂියානු පාපන්දු ඉතිහාසයේ වැදගත්ම වසරක්. රුසියාවේදී පැවැත්වුණු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුකම් ලැබීම ඔවුන් කණ්ඩායමක් ලෙසින් ලද විශාලම ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වුණා. තරගාවලිය පුරාම පෙරළිකාර කණ්ඩායමක් වුණු ක්‍රොඒෂියාව ඒ වනවිට පාපන්දු දැවැන්තයන් වුණු ආර්ජන්ටිනාව, එංගලන්තය සහ සත්කාරක රුසියාව පරාජය කිරීම විචාරකයින් මවිතයට පත් කළා. අවසාන මහා තරගයේ දී ප්‍රංශය අතින් පරාජය වුනත් කණ්ඩායම නැවතත් තම මවු රට බලා ගියේ ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ ගෞරවය දිනාගනිමින්.

වසර අවසානයේ පැවැත්වුණු ෆිෆා සම්මාන උලෙළේදි පාපන්දු ක්‍රීඩකයෙක්ට ලබාගත හැකි වටිනාම ගෞරවය වන වසරේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නට මේ පෙරළිකාර කණ්ඩායමේ නායකයා වුණු ලූකා මෝද්‍රිච් සමත් වුණා. හරියටම වසර දහයකට පසුවයි ලයනල් මෙසී හෝ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හැරෙන්නට වෙනත් ක්‍රීඩකයෙක්ට මේ ගෞරවය පිළිගැන්වුණේ සම්මානය ගන්න මොහොතේ මොද්‍රිච් කෙටි ස්තූති කතාවක් කළා. ඒ කතාවෙදි තමන්ගෙ පවුලේ සාමාජිකයන්ව, සහෝදර ක්‍රීඩකයන් මතක් කරපු ඔහු මීළඟට ස්තූති කළේ ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන සිටි විශේෂ පුද්ගලයෙකුට.

ඒ තමයි ස්වොනමීර් බෝබන් ,වසර විස්සකට පෙර 1998 ලෝක කුසලානයේදි අවසන් පූර්ව තරගය දක්වා ගියපු ක්‍රොඒෂියානු කණ්ඩායමේ නායකයා. බෝබන් ගේ කණ්ඩායම තම රට වෙනුවෙන් දක්ෂතා දක්වන විට තමන් කුඩා දරුවෙකු බවත්, ඒ කාලයේ පටන් බෝබන් තමන්ගේ පාපන්දු වීරයා වුණ බවත් ලූකා මොද්‍රිච් කියා සිටියා. මොද්‍රිච් ගේ කතාව අහගෙන හිටපු බෝබන් හැඟිම්බර වෙලා තමන්ගේ කඳුලු හඟවන්න දැඩි උත්සහයක නිරත වුණු බව කැමරා කාචයට වසන් කරන්න හැකිවුණේ නෑ.

1998 ලෝක කුසලානය ස්වොනමීර් බෝබන්ගේ පාපන්දු ජීවිතයේ ක්‍රොඒෂියාව වෙනුවෙන් ලද විශාලතම ජයග්‍රහණය වුණත් බෝබන්ගේ පුරාවෘත්තය තවත් වසර කිහිපයක් ඈතට දිව යන්නක්. කොටින්ම බෝබන් තරුණයෙකු ලෙස තමන්ගේ පාපන්දු ජීවිතය අරඹන විට ක්‍රොඑෂියානු ජාතික පාපන්දු කණ්ඩායම කියල එකක් තිබුණේ නැහැ. ක්‍රෝඒෂියාව රටක් ලෙස ස්වාධීන වෙලා තිබුණෙත් නැහැ. වසර විස්සක තරුණයෙකු ලෙස පාපන්දු පිටියට එන ඔහුට ක්‍රීඩා කරන්න වෙලා තිබුණේ ඒ වන විට බෙදුම්වාදය හා වර්ගවාදය නිසා අස්ථාවර තත්වයක තිබුණු යුගොස්ලෝවියානු සමාජවාදී ජනරජයේ ජාතික පාපන්දු කණ්ඩායමට.

නැගෙනහිර යුරෝපයේ සමාජවාදී බලකණු බිඳවැටීම බර්ලින් තාප්පයේ බිඳවැටීමෙන් සංකේතවත් වුණේ 1989 දීයි. ඒ වනවිට සමාජවදී දේශපාලන දර්ශනයක් මඟින් සර්බියාව ක්‍රොඒෂියාව සහ තවත් රටවල් කිහිපයක එකතු වීමෙන් බිහිවූ යුගොස්ලෝවියාවේ බෙදුම්වාදී අදහස් පැතිර යමින් තිබුණා. ජනරජයෙන් වෙන්වීමේ අරමුණින් ස්වයං නීර්ණ අයිතිය ඉල්ලා සිටීමට ක්‍රො ඒෂියාව කටයුතු කළත් ව්‍යවස්ථානුකූලව එම ඉල්ලීම් පැහැර හරින්නට සර්බියාව කටයුතු කළා. ක්‍රො ඒෂියාවට හා ස්ලෝවේනියාවට ස්වාධීන රටවල් වීමට උවමනා වී තිබුණත් ව්‍යවස්ථා වෙනසකට යාමට යුගොස්ලෝවියානු රටවල් ඒකමතිකව එකඟ විය යුතු නිසා විසඳුමක් නොමැති අර්බුදයක ක්‍රොඒෂියාව සිරවී සිටියා. 1990 මැයි වන විට දෙපාර්ශ්වය අතර වාර්ගික අර්බුදයේ සමාජීය පීඩනය උච්ඡතම අවස්ථාවකට ළං වෙලයි තිබුණේ.

දේශපාලනිකව මෙම තත්වය අර්බුදකාරී වුණත් යුගොස්ලෝවියානු පාපන්දු ලීගයේ තරඟකාරීත්වය වැඩි කරන්නට මෙය හේතුවක් වුණා. ක්‍රොඒෂියාව, සර්බියාව ඇතුළු සමාජවාදී ජනරජයේ සියලු රටවල ප්‍රධාන නගර නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් ලීගයට ඇතුළත්ව සිටියා. 1990 පාපන්දු වාරය ආරම්භ වනවිට කණ්ඩායම් අතරින් කැපී පෙ‍ෙනන දක්ෂතා දක්වමින් සිටියේ ක්‍රො ඒෂියානු අගනුවර වූ සග්‍රෙබ් නුවර නියෝජනය කරමින් පැමිණි ඩිනාමෝ කණ්ඩායම හා සර්බියානු අගනුවර වූ බෙල්ග්‍රේඩ් නුවර නියෝජනය කළ රෙඩ් ස්ටාර් කණ්ඩායම යි.

 

තරඟය පැවැත්වුණේ සග්‍රෙබ් නුවර ප්‍රධාන ක්‍රීඩාංගණයේදීයි. තරඟය ආරම්භ වීමටත් කලින් විසිදහසක පමණ ප්‍රේක්ෂක ධාරිතාවක් තිබූ ක්‍රීඩාංගණයේ අසුන් සියල්ලම පිරී තිබුණා. ක්‍රීඩාංගණයේ එක පැත්තක නිල් පැහැ කොඩි අතින් ගත් සග්‍රෙබ් කණ්ඩායමේ සහායකයන් ද අනෙක් පැත්තේ රතු පැහැ කොඩි අතින් ගත් බෙල්ග්‍රේඩ් කණ්ඩායමේ සහායකයන් ද අසුන් ගෙන සිටියා. බැලූ බැල්මට දෙපාර්ශ්වයෙන් ම සම සමව ප්‍රේක්ෂකයන් සහභාගී වී තිබුණු බව පෙනෙන්නට තිබුණු කරුණක්.

බෙල්ග්‍රේඩ් කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවරී තිබුණේ එවකට විසිදෙහැවිරිදි තරුණයෙක් වුණු ස්වොනමීර් බෝබන් හටයි. ඒ වනවිටත් කණ්ඩායම් ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසු වුනත් මේ තරඟය ඔවුන්ට ක්‍රොඒෂියානුවන් ලෙස වැදගත් තරඟයක් වුණා. එවකට සිටි හොඳම සර්බියානු ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කිරීම සග්‍රෙබ් නුවර පමණක් නෙවෙයි, මුළු ක්‍රොඒෂියාවෙම ජනතාව එක හඬින් ඉල්ලා සිටි දෙයක්. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තරඟය නැරඹීමේ අරමුණින් රූපවාහිනිය ඉදිරිපිටට ඇවිල්ලයි හිටියේ.

අංක දහය රැගත් නිල් පැහැති ජර්සිය පැළඳ ස්වොනමීර් බෝබන් ඔහුගේ කණ්ඩායමත් සමඟ ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම්වල නිරත වුණේ තරගයට හොඳ ආරම්භයක් ලබා ගැනීමේ මානසිකත්වයෙන්. නමුත් නොසිතූ විදියට ප්‍රතිවාදී පිළට සහය දක්වපු ප්‍රේක්ෂකයන් ක්‍රීඩාගාරය වට කොට ඉදි කළ වැට වල් කඩා දමමින් ක්‍රීඩාංගනය තුළට දිව යන්න පටන් ගත්තා. ක්‍රීඩාගාරයේ බොහෝ තැන්වල ප්‍රේක්ෂකයින් කලහකාරී ලෙස හැසිරෙමින් ගුටි හුවමාරුවක නිරත වෙන බව ඔහු දුටුවේ එවිටයි. දෙපාර්ශ්වයේම ප්‍රේක්ෂකයන් අතට අහු වෙන දේවල්වලින් එකිනෙකා දෙසට දමාගසනවා. සමහරක් තැන්වල දරුණු මුෂ්ටි ප්‍රහාර, පා පහරවල් එකිනෙකාට යොමුකරගන්නවා. තවත් ප්‍රේක්ෂකයන් පිරිසක් ක්‍රීඩාංගණයට කඩා පැනලා ඒ මේ අත දුවනවා. බෝබන්ටත් අනෙක් ක්‍රීඩකයන්ටත් මේ දිහා පුදුමයෙන් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.

යුගොස්ලෝවියානු පොලීසිය මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවකට සූදානම් පිටයි හිටියේ. ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ක්‍රීඩාංගණයට කඩා වැදුණු ඔවුන් ප්‍රේක්ෂකයන් පාලනය කරන්න උත්සාහ කළා. කලහකාරී තත්වය මැද්දේ සමහරක් ක්‍රීඩකයන් තමන්ගේ කාමර වලට ගියත් බෝබන් ක්‍රීඩාංගණය තුළ රැඳෙන්න තීරණය කළා. බැලූ බැල්මටම පොලීසිය ඒක පාර්ශවීය විදියට කඩාකප්පල්කාරීන් මර්දනය කරපු ස්වරූපයක් පෙනෙන්නට තිබුණා. සර්බියානු ජාතිකයන් මගහැරලා ක්‍රොඒෂියානු කණ්ඩායමේ ප්‍රේක්ෂකයන්ට බැටන් පොලු වලින් බිම දාගෙන පහර දෙනවා බෝබන් දැක්කා. තමන් ළඟ හිටපු පොලිස් නිලධාරීන්ට ඔහු මේ ගැන කිව්වත් ඔවුන් බෝබන්ව නොසලකා හැරියා. අදටත් යූ ටියුබ් වෙබ් අඩවියට ගියොත් අංක දහයේ ජර්සිය ඇඳගත් ක්‍රීඩකයා පොලිස් නිළධාරීන්ට කන්නලව් කරන හැටි වීඩියෝවලින් ඔබට දැකගන්නට පුළුවන්.

කුඩා කාලයේ සිටම ජාතිකවාදී අදහස් ඇති පවුල් පරිසරයක හැදුණ වැඩුණ බෝබන් ස්වාධීන ක්‍රොඒෂියාවක් වෙනුවෙන් සිහින දකිමින් හිටපු තරුණයෙක්. තමන්ගේ ඇස් පනාපිටම තමන්ගේ සහෝදර ක්‍රොඒෂියානුවන්ට සිදුවෙන අසාධාරණයට එරෙහිව ඔහුට කරන්න දෙයක් තිබුණේ නැහැ. බෝබන් පොලිස් නිලධාරින් සමඟ උණුසුම් මත ගැටුමක නිරත වෙනවා දැකපු සග්‍රෙබ් කණ්ඩායමේ කළමණාකරු බෝබන්ව සංසුන් කර ගෙන ක්‍රීඩාංගණයෙන් පිටතට රැගෙන යන්න උත්සාහ කළා. ගේට්ටුවෙන් පිටතට යන මොහොතෙයි ඔහු දැක්කේ තමන් ළඟ සිටින පොලිස් නිලධාරියෙක් නිල් පැහැති කමිසයක් පැළඳ සිටින ප්‍රේක්ෂකයෙක්ට බිම දාගෙන බැටන් පොල්ලකින් පහර දෙනවා.

බෝබන් පොලිස් නිලධාරියා ළඟට ගිහින් ඔහුට බැන වැදුණා පහර දීම නවත්තන්නෙයි කියලා. පොලිස් නිලධාරියා තමන්ගේ රාජකාරියට බාධා කරන ක්‍රීඩකයා ව වැලැක්වීමේ අරමුණින් බෝබන්ට පහර දුන්නා. ඊට පසුව ස්වොනමීර් බෝබන් මේ පොලිස් නිලධාරියාගේ අසාධාරණ ක්‍රියාකලාපයට ප්‍රතිචාර දක්වපු ආකාරය ( ඡායාරූපයේ දිස්වෙන ලෙස ගුවනට පැන දනහිසෙන් පොලිස් නිලධාරියාගේ හිසට එල්ල කළ පාපහර) නිසා යුගොස්ලෝවියානු අධිකරණයෙන් නඩුවකුත්, යුගොස්ලෝවියානු පාපන්දු සංගමයෙන් මාස හයක තරඟ තහනමකුත් පිරිනැමුණා. ඒ සෑම දෙයකටම වඩා නිදහස් ක්‍රොඒෂියාවේ වැසියන් අදටත් බෝබන් ව පුරාවෘතයක් ලෙස සලකන්න ඔහුගේ ආවේගශීලී ප්‍රතිචාරය එක හේතුවක්.

අදටත් ඔබ අන්තර්ජාලයට ගොඩ වැදුණොත් එහි ඡායාරූප දකගන්නට පුළුවන්. බොහෝ විට එම ඡායාරූපයට ඉහළින් ඇති සිරස් තලය වෙන්නේ යුද්ධයක් ආරම්භ කළ පා පහර (The kick that started a war) ලෙසයි. අදටත් ක්‍රොඒෂියානු වැසියන්ට අනුව 1991 ආරම්භ වුණු ක්‍රොඒෂියානු නිදහස් සටන ආරම්භ වීමට උත්ප්‍රේරකය වුණේ ඒ පා පහරයි.

[හරිත දිසානායක]

මාතෘකා