ප්‍රංශ සවාරියේ කිරුළ දකුණු අැමෙරිකානුවෙකුට

 ඡායාරූපය:

ප්‍රංශ සවාරියේ කිරුළ දකුණු අැමෙරිකානුවෙකුට

ප්‍රංශයේ සිටින විශිෂ්ටතම පාපැදි ශූරයෙක් වන ජුලියන් ඇලිපිලිපේ මෙවර පැවැති 106 වැනි ප්‍රංශ සවාරියේ 17 වැනි අදියර අවසන් වන විටද ඉදිරියෙන්ම සිටි තරගකරු විය. දෙවැනි ස්ථානයේ සිටි මහා බ්‍රිතාන්‍යයේ ගැරන්ට් තෝමස්ට වඩා මිනිත්තුවයි, තත්ත්පර 35ක් ඉදිරියෙන් සිටීමට ඒ වන විටද ඇලිපිලිපේ සමත්ව සිටියේය. ඈත දකුණු අමෙරිකාවෙන් පැමිනි 22 හැවිරිදි ළාබාල ඒගන් බර්නල් ඇලිපිලිපේට වඩා මිනිත්තු 2යි තත්ත්පර 2ක් පසුපසින් සිටියේ සමස්ත තරගයේ පස් වැන්නා ලෙසිනි.

කිලෝ මීටර් 208ක් දුර පැවැති 18 වැනි අදියර තරමක් දුෂ්කර කඳුකර මාර්ගයක් හරහා වැටී තිබූ අතර එම අදියර ජය ගැනීමට කොලොම්බියාවේ නයිරෝ ක්වින්ටානා සමත් විය. අත්දැකීම් සහිත ක්වින්ටානාට අභියෝග කළ පාපැදි ශූරයන් අතර බර්නල්ද විය. එම අදියර ඔහු 8 වැන්නා ලෙස අවසන් කළ අතර සමස්ත තරගයේ පෙරමුණේ සිටි ඇල්පිලිපේ තරමක් පසුබෑම නිසා ඔවුන් දෙදෙනා අතර පරතරය මිනිත්තු 1යි, තත්ත්පර 30ක් දක්වා අඩු වූයේ සමස්ත තරගයේ බර්නල් දෙවැනිනා බවට පත් කරමිනි. 19 වැනි අදියර කිලෝ මීටර් 126.5ක කඳු තරණයක් වූ අතර දෙවැන්නාවූ මහා බ්‍රිතාන්‍ය කඳු ශූරයා සිමොන් යේට්ස්ට වඩා තත්ත්පර 13ක් ඉදිරියෙන් සිටිමින් තනිවම එම අදියර අවසන් කළේ සියල්ලන්ම මවිතයට පත්කරමිනි. ඒ වන විටත් දින 18ක් බයිසිකලය මත නැගී ලෝක ශූර පාපැදි ධාවකයින් සමග හරි හරියට තරග කළ බර්නල් සමස්ත තරගය අවසන් කිරීමට අදියර දෙකක් ඉතිරිව තිබියදී තම පළමු සහ එකම අදියර ජයග්‍රහණය ලබා ගැනීට සමත් විය. මෙම අදියරේදි ඇල්පිලිපේ ඇතුළු ප්‍රවීනයන් පසුබා ගිය අතර ඇල්පිලිපේ මිනිත්තු 2යි, තත්ත්පර 10ක් බර්නල්ට වඩා ප්‍රමාදවී තරගය අවසන් කිරීම නිසා සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට බර්නල්ට හැකි විය. ඒ සමස්ත තරගයේ දෙවැන්නා වූ ඇල්පිලිපේට වඩා තත්ත්පර 45ක් ඉදිරියෙන් සිටිමිනි.

20 වැනි අදියර ජයග්‍රාහකයාට වඩා තත්ත්පර 17ක් පසුපසින් සිටියද බර්නල්ට එයින් බලපෑමක් නොවූයේ ඔහුගේ ළඟම ප්‍රතිවාදීන් ඒ අතර නොසිටි හෙයිනි. එබැවින් අවසන් අදියර වන විට සමස්ත තරගයේ ඒ වන විට දෙවැන්නා බවට පත්ව සිටි මහා බ්‍රිතානය යේ ගැරන්ට් තෝමස්ට වඩා මිනිත්තු 01යි තත්ත්පර 11ක් ඉදිරියෙන් සිටීමට බර්නල් සමත්ව සිටියේය. අවසන් අදියරේදී බර්නල්ට කළ යුතු වූයේ දෙවැනි තෙවැනි ස්ථානවල සිටි තරගකරුවන් අසලින්ම අවසන් අදියර අවසන් කරමින් කාලපරතරය රැක ගැනීම පමණකි.

ඒ වන විටත් ඔහුගේ ප්‍රබලම ප්‍රතිවාදී තරගකරුවා වී සිටි තමන් නියෝජනය කරන ඉනෙඔස් කණ්ඩායමේම ගැරන්ට් තෝමස් යනු පසුගිය වසරේ ප්‍රංශ සවාරියේ ශූරයා වීම එම අභියෝගය දෙගුණ තෙගුණ කිරීමට හේතු විය. එහෙත් අවසාන දියරේ ඔවුන් දෙදෙනා තරගය අවසන් කලේ 29 වැන්නා සහ 30 වැන්නා ලෙස එකම කාලයක් වාර්තා කරමිනි.

 

ඒ සමගම ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රංශ සවාරියේ කිරුළ දැරීමේ අවස්ථාව දකුණු අමෙරිකානුවෙකුට හිමි වූ අතර 106 වරක් පැවැති ප්‍රංශ සවාරියේ ජය වාර්තා කළ තෙවැනි ළාබාලම පාපැදි තරගකරුවා බවටද බර්නල් පත් විය.මෙයට පෙර යුරෝපයේ රටවලට පිටතින් මෙම සවාරිය ජය ගැනීමට සමත්ව ඇත්තේ අමෙරිකානු සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පමණි.

1903 වසරේ දී ආරම්භ වූ ප්‍රශ සවාරිය මෙවර පැවැතියේ 106 වැනි වරටය. ජූලි 6වැනිදා ආරම්භ වූ සවාරිය ජුලි 28 වැනිදා අවසන් විය. අදියර 21කින් සමන් විත වූ මෙහි අදියර 7ක් තැනිතලා මාර්ගවලද, අදියර 7ක් කඳුකර මාර්ගද විය. අදියර 21 අතර ක්‍රීඩකයින්ට හිමිවූයේ විවේක දින දෙකක් පමණි.

1903 ආරම්භ වූ පළමු වැනි ප්‍රංශ සවාරියේ ජයග්‍රාහකයා වූයේ ප්‍රංශයේ මවුරිස් ගැරින් ය. ප්‍රංශ සවාරිය තෙවරක් ජයගත් පළමු වැන්නා වූ බෙල්ජියමේ පිලිපේ තයිස් 1913, 1914 සහ 1920 තරග ජය ගැනීමට සමත්ව ඇත. එසේම පිට පිටම තෙවරක් ප්‍රංශ සවාරිය ජය ගත් පළමු වැන්නා ප්‍රංශයේ ලූෂන් බොබෙට් ය. 1953 සිට 1955 දක්වා සවාරි තුනම ඔහු ජය ගැනීමට සමත් විය. ලක්සම්බර්ග් හි ෆ්රැන්කොයිස් ෆැබර් ප්‍රංශ සවාරිය ජයගත් පළමු විදේශික පාපැදි ශූරයා ය. ඔහු 1909 වසරේ ජයග්‍රාහකයා විය.

ජැන් ඇන්කුවිටිල් පස්වතාවක් ප්‍රංශ සවාරිය ජයගැනීමට සමත් වූ පළමු වැන්නා ය. 1957 පළමු වරට තරගය ජයගත් ඇන්කුවිටිල් 1961 සිට 1964 දක්වා පිට පිටම ප්‍රංශ සවාරිය ජය ගෙන තිබේ. මේ දක්වා ප්‍රංශ සවාරිය පස්වතාවක් ජය ගෙන ඇති ක්‍රීඩකයින් සිව්දෙනෙක් සිටිති. ඇන්කුවිටිල්ට අමතරව බෙල්ජියමේ එඩී මර්ක්ස්, ප්‍රංශයේ බර්නාඩ් හීනෝල්ට් සහ ස්පාඤ්ඤයේ මිගුවෙල් ඉන්ඳුරෙයින් එසේ ප්‍රංශ සවාරිය පස් වතාව බැගින් ජය ගැනිමට සමත් වූ විශිෂ්ට පාපැදි ධාවකයින් ය. ඔවුන් අතරින් ස්පාඤ්ඤයේ මිගුවෙල් ඉන්ඳුරෙයින් ඉතිහාසගත වන්නේ පිට පිටම පස් වතාවක් ප්‍රංශ සවාරිය ජයගත් පළමුවැනි වැන්නා මෙන්ම මේ දක්වා එම දස්කම දැක්වූ එකම පාපැදි ශූරයා ලෙස ය.

ඇමරිකා එස්සත් ජනපදයේ ලාන්ස් ආම්ස්ට්‍රෝං ලෝක පාපැදි ඉතිහාසයේ මෙන්ම ප්‍රංශ පාපැදි සවාරියේ ද අවාසනාවන්තම ක්‍රීඩකයා වන්නේ ය. ඒ 1999 සිට 2005 දක්වා පැවති ප්‍රංශ සවාරි හතම පිට පිටම ජය ගැනිමට ආම්ස්ට්‍රෝං සමත් වුවත් පසුව තහනම් උත්තේජක ලබාගත් බවට ආම්ස්ට්‍රෝං පිළිගැනීම නිසා එම ජයග්‍රහණ හතම අවලංගු කළ සංවිධායකයෝ ලාන්ස් ආම්ස්ට්‍රෝං යන නාමය ප්‍රංශ සවාරි ජයග්‍රාහක නාම ලේඛනයෙන් කපා හැරීමට ද පියවර ගත්හ.

ප්‍රංශ සවාරියේ සමස්ථ ජයග්‍රහණ ලේඛනයේ ඉදිරිනේම සිටින්නේ ද ප්‍රංශය යි.

 

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා