IPL තරගාවලිය 2019 : බැංගලෝරයට සිව්වැනි ජය

 ඡායාරූපය:

IPL තරගාවලිය 2019 : බැංගලෝරයට සිව්වැනි ජය

පස්වැනි කඩුල්ල සඳහා මාකස් ස්ටොයිනිස් සමග නොබිඳුණු ලකුණු 121ක සබඳතාවයක් පවත්වමින් බැංගලෝර් කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු දෙසීය සීමාවට ඔසවා තැබූ ඒබී ඩි විලියර්ස් තරගාවලියේ සිව්වැනි ජය සිය කණ්ඩායමට ලබාදුන්නේය.

ඩිවිලියර්ස් සහ ස්ටොයිනිස් අතර සබඳතාවය සඳහා වැය වූයේ පන්දු 66ක් පමණි. පන්දු 44කදී නොදැවී ලකුණු 82ක් රැස් කළ ඩි විලියර්ස් බැංගලෝරයේ එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය සිසාර හතරේ පහරවල් 3ක් සහ දැවැන්ත හයේ පහර 7ක් එල්ල කළේය. තරගාවලියේ පස් වැනි අර්ධ ශතකයද වාර්තා කළ ඩි විලියර්ස් මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර පස් වැන්නා වීමටද සමත්විණි. ඔහුට අනගි සහායක් ලබාදුන් ස්ටොයිනිස් නොදැවී ලකුණු 46ක් රැස් කළේ පන්දු 34කිනි. ආරම්භක පිතිකරු පාර්තිව් පටෙල්ද පන්දු 24කින් ලකුණු 43ක් ලබා ගත්තේය. ලකුණු 203ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස් ගේල් පන්දු 10කින් ලකුණු 23ක් රැස් කළ අතර කේ.එල්. රාහුල් (42) සහ මායාන්ක් අගර්වාල් (35) පන්දුවාර 9කදී මුලු ලකුණු සංඛ්‍යාව 101 දක්වා ගෙන ඒමට සමත් වූහ. අවසන් පන්දුවාර 2දී ලකුණු 30ක් ලබා ගැනීමට පන්ජාබ් කණ්ඩායමට සිදු වුවත් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 12ක් පමණි. පන්ජාබ් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නිකොලස් පූරාන් පන්දු 28කදී ලකුණු 46ක් රැස් කළේය.

ඒ සමගම මෙතෙක් IPL ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටි බැංගලෝර් කණ්ඩායම හත් වැනි ස්ථානයට පැමිණීමට සමත් විය.

ලකුණු සාරාංශය

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී) 202 (ඒබී ඩි විලියර්ස් නොදැවී 82, මාකස් ස්ටොයිනිස් නොදැවී 46, පාර්තිව් පටෙල් 43, රවිචන්ද්‍රන් අශ්වින් 1/15)

කිංග්ස් ඉලවන් පන්ජාබ් (පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී) 185 (නිකොලස් පූරාන් 46, කේ.එල්. රාහුල් 42, මායාන්ක් අගර්වාල් 35, ඩේවිඩ් මිලර් 24, ක්‍රිස් ගේල් 23, උමේෂ් යාදව් 3/36, නව්දීප් සයිනි 2/33)

මාතෘකා