ෂුමාකර් නාමය යළි මෝටර් රථ ධාවන පථයට

 ඡායාරූපය:

ෂුමාකර් නාමය යළි මෝටර් රථ ධාවන පථයට

මෝටර් රථ ධාවන තරග අතර ෆෙරාරි ධාවන පථයේ විශිෂ්ටයා වශයෙන් තවමත් සැලකෙන්නේ මයිකල් ෂුමාකර්ය. (තරග වාර්තා විශ්ලේෂණය කිරීමෙන්) එහෙයින් ලොව මෙතෙක් බිහිවූ හොඳම මෝටර් රථ ධාවකයා වශයෙන්ද ඔහු සැලකේ. වසර කීපයකට පෙර මෝටර් රථ ධාවන පිටියෙන් පිටතදී මාරාන්තික අනතුරකට පත්වීමට ප්‍රථම ඔහු ‍ෆෙරාරි ධාවන ලෝකයේ වීරයා වශයෙන් සැලකුණේය. එහෙත් එම පිළිගැනීම අදටත් වෙනසක් සිදුකර නොමැත්තේ ඔහු එතරම් විශිෂ්ටතා දැක්වීමට සමත්ව ඇති ක්‍රීඩකයකු වන හෙයිනි. ෆෝමියුලා ධාවන පථයේ පිට පිට ලෝක ශූරතා පහක් දිනාගනිමින්ද ඔහු වාර්තාවක් පිහිටුවා ඇත. එලෙස දිනූ සමස්ත ෆෝමියුලා ලෝක ශූරතා ගණන හතක් ලෙසින් සැලකෙයි. ඒ අතර ඔහු දිනා ඇති ගෝන් ප්‍රී ධාවන ශූරතා ප්‍රමාණය 91කි. එයද ෆෝමියලු මෝටර් රථ ධාවකයකු පිහිටවූ වාර්තාවක් ලෙසින් සැලකේ.

වේගවත් ධාවන වටය වාර්තා කර ඇත්තේද ෂුමාකර්මය. එකම තරග සමයක තරග වැඩිම ප්‍රමාණයක් ජයගත් ධාවකයා වශයෙන්ද ඔහු සැලකෙන්නේ තරග 13ක් ජය ලැබීමට සමත්වීමත් සමඟය. ඔහුගේ විශිෂ්ටත්වය පිළිබඳ මෙලෙස කෙටි සටහනක් තබද්දී ෂුමාකර් 2006 වසරේදී තම ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට තීරණය කළේය. කෙසේ නමුත් ඔහු යළි ධාවන පථයට පැමිණියේ 2010 වසරේදීය. යළි 2012 වසරේදී තම සමුගැනීම නිවේදනය කළ ඔහු මෝටර් රථ ධාවන පථයෙන් නික්ම ගියේය. එහෙත් හිම මත ලිස්සා යෑමට ඔහු කටයුතු කළ 2013 වසරේදී හදිසි අනතුරකට ලක්වූ අතර හිස ගලක වැදීම හේතුවෙන් තදබල අනතුරකට ලක්විය.

රොා්හල්ගතකර දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලැබූවද ඔහු කොමා තත්ත්වයට පත්ව මාස හයකට අධික කාලයක් ප්‍රතිකාර ලැබීය. පසුව පුනරුත්ථාපන ප්‍රතිකාරයන්ට ලක්වෙමින් මේ වනවිට සිය නිවසේ පෞද්ගලිකව ප්‍රතිකාර ලබමින් සිටී. කෙසේ නමුත් මෙම ලිපිය ලියන්නේ මෝටර් රථ ධාවන පිටිය එකළු කළ ෂුමාකර් නාමය යළි ෆෙරාරි ධාවන පථයෙන් ඇසෙන්නට පටන් ගැනීම සම්බන්ධවය. එහෙත් ඒ මයිකල් ෂුමාකර් ලෙසින් නම් නොවේ. ඔහුගේ ජීවිතයේ දිගුවක් ලෙසින් සැලකිය හැකි එකම පුතු මික් ෂුමාකර් සම්බන්ධයෙනි. ඔහු පසුගිය ජනවාරි මාසයේදී ෆෙරාරි ඇකඩමියේ රියැදුරකු වශයෙන් කටයුතු කරන බව පළමු වරට නිල වශයෙන් නිවේදනය කළේය. මේ ඒ පිළිබඳ කතාවය.

පියා බැස ගිය ෆෝමියුලා මෝටර් රථයක රියැදුරු අසුනට පැමිණීමට ඔහු වසර 12ක් ගත වූයේය. පිය උරුමය අභියෝගයක් වශයෙන් සිය සොහොයුරියට බාරගන්නැයි නොපැවසූ මික් ෂුමාකර් එය තමා සතු කරගත්තේ මීට කෙටි කලකට පෙර සිටමය. මේ වනවිට යන්තමින් අවුරුදු විස්ස සපුරා ඇති මික් ෂුමාකර් එහි ඉදිරි පියවරක් තැබීමට පසුගියදා බහරේනයේ දී සමත් වූයේය.

ඒ ෆෙරාරි ධාවන පථයේ ඔහු සහභාගිවන පුහුණු තරගයට සහභාගි වෙමිනි. ඔහුගේ මෙම ප්‍රයත්නය ලෝක ජනමාධ්‍ය අතර සංවාදයට බඳුන් වූයේය. ඊට ඉවහල්වූ ප්‍රධාන කරුණු දෙකක් තිබිණි. ඉන් එකක් වූයේ තම පියාගේ අඩි පාරේ ගමන් ගැනීමට උත්සහ කරනු ලබන පුත්‍රයකුගේ උත්සාහයක් වීමය. ඊට අමතරව 2013 වසරේ අනතුරට පත්වූ දා සිටි මයිකල් ෂුමාකර් සම්බන්ධයෙන් කිසිදු ප්‍රවෘත්තියක් කලකින් වාර්තාවී නොතිබීමය. එම අනතුරෙන් පසු මයිකල් ෂුමාකර් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන්ද මෙම කුතුහලය වැඩිදියුණුකර තිබුණේය.

තමන්ගෙ දක්ෂතා පියා හා සසැඳීම ගැටලුවක් නොවන බව මික් ෂුමාකර් ප්‍රකාශ කර තිබුණේ මේ අතරය. කෙසේ නමුත් මයිකල්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටිය බව පැවසිය යුතුය. මෙම තත්ත්වය සුවිශේෂ කරුණක් වශයෙන් සැලකීමටද නොහැක්කේ යැයි කිවයුත්තේ මයිකල් යනු එකල සිටම පුද්ගලිකත්වය දැඩිව ආරක්ෂා කළ මිනිසකු ලෙසින් සැලකුණු හෙයිනි. ඔහු කිසි විටෙකත් තම පෞද්ගලික ජීවිතය පිළිබඳ මහා ඉහළින් කතාකළේ නැත. මෙය එක්තරා ආකාරයක අලියකු විසිත්ත කාමරයක් තුළ සඟවන්නට උත්සහ කරන්නාක් වැනි කාරණයක් විය. එහෙයින් මික් ෂුමාකර්ගේ ෆෝමියුලා ආගමනය අවට ලෝකයට විශේෂයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රවෘත්තියක් මවා පවා ඇත්තේය.

මේ අතර පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් විසින් නැගූ විවිධ ප්‍රශ්න හමුවේ මික් ෂුමාකර් පැවසූයේ තම පියා තමන්ගේ පරමාදර්ශය බවකි. එම මාධ්‍ය හමුවේදී තම පියා පිළිබඳ නැගූ ප්‍රශ්නවලදී ඔහු ඉතා සාවාදානව පිළිතුරු ලබාදී තිබුණේ ඊට වක්‍රාකාරයෙන් බාධක ගොඩනගා ගනිමිනි. මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විමසා තිබුණේ මයිකල් ෂුමාකර් වැනි විශිෂ්ටයකුගේ පුත්‍රයාවීමෙන් ඇතිවන අතිමහත් අවධානය ගැන කුමක් පවසන්නේද යනුවෙනි.

එවිට පිළිතුරුදුන් මික්, ‘ඒක අමාරු ප්‍රශ්නයක්. නමුත් ඒක මගේ කොටසක්. එය මට අතහරින්න පුළුවන් දෙයක් නොවෙයි. මම මගේ තාත්තගේ එකම පුතා. මම ඇත්තෙන්ම ඒ ගැන සතුටු වෙනවා. ඔහු ෆෝමියුලා තරග වලදී කරලා තිබෙන දේවල් ගැන මම සතුටු වෙනවා. ඒ ගැන නැවත හැරිලා බලද්දී මම ඔහුගේ පුතු වීම ආඩම්බරයක්’යැයි ප්‍රකාශ කළේය.

සෙසු රියැදුරන්ට නොලැබෙන තරම් අත්දැකීමක් තමන්ට ලබාගන්නට අවස්ථාව හිමිව තිබීම පිළිබඳ අදහස් දැක්වූ ඔහු, ‘සැමවිටම ඒක මගේ ජීවිතයේ කෑල්ලක්. මේ හේතුවෙන් මට හැකියාවක් ලැබුණා එයත් එක්කම වර්ධනය වෙන්න. ඒ නිසා මගේ පිටිපස්සේ ඉඳගෙන ඒ මාර්ගයේ යන්න බොහෝ දෙනෙක් උපකාර කළා.

තම පියා වන මෝටර් රථ ධාවකයාගෙන් උගත් දේ සම්බන්ධව අදහස් දක්වා ඇති මික්, ‘මම දැන් ඉන්න ආකාරයේ කෙනෙක් වුණේ මගේ පියා නිසයි’ යැයි සාඩම්බරව පවසා ඇත. තමන්ගේ ධාවන ජීවිතයට හේතු පාදක වූ විශේෂ යමක් වේනම් ඒ කුමක්දැයි මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නයන්ට අනුව ‘අපි කාර්ටින් වලදී යම් යම් දේවල් බෙදාහදාගත්තා. එය මට මගේ ධාවන ජීවිතය අරඹන්න බොහෝ වැදගත් වුණා’ යැයි ප්‍රකාශ කර තිබේ. තමන් 14 හැවිරිදි විය ගෙවා දමද්දී හිම මත ලිස්සා යාමට ගොස් බරපතළ ලෙස තුවාල ලබා ගිලන් භාවයට පත්වූ පියා සම්බන්ධයෙන් වන මතකය ඔහුට දැඩි වේදනාවක් බව ප්‍රකාශ කර ඇත. නමුත් එය බාධාවක් සිදුකර නොගෙන තමන්ගේ ධාවන ජීවිතය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඔහු ප්‍රකාශ කර ඇත. එය ඔහු සිදුකර ඇත්තේ අන්කිසි ලෙසකින්වත් නොව තම පියාගේ නියම පුත්‍රයා ඔහු වන නිසාවෙනි.

මිකීගේ ෆෝමියුලා ගමන් මඟ පිළිබඳ අදහස් දක්වා ඇති මයිකල් ෂුමාකර්ගේ ෆෝමියුලා කණ්ඩායමේ ඉංජිනේරුවා, ‘මිකී කුඩා කාලයේ ඉඳලම මම දන්නවා. මුලදී ඔහුට මෙය අසීරු ගමනක් වුණත් දැන් ඔහු එය ජයගන්න හැටි තේරුම්ගෙන තිබෙනවා.

ඇත්තටම ඔහු දැඩි අධිෂ්ඨානයක් ඇති තරුණයෙක්. ඔහු පසුගිය වසරේ ෆෝමියුලා 3 ධාවන තරග වලට ක්‍රීඩා කරලා තමන් කොහොමද මේ ධාවන තරගවලට සහභාගි වන්නේ කියන එක පෙන්නුවා. ඔහුව දන්න, ඒවගේම ඔහු එක්ක කාලය ගතකරන්න කැමති උදවිය තේරුම් ගන්නවා ඔහු මොනවගේද කියලා. ඔහු පසුගිය මාස 12 තුළ ධාවකයකු වශයෙන් කොතරම් දියුණු වෙලාද කියලා අවබෝධ කරගන්න හැකියි. ඔහු ඉතාමත් අපූරු තරුණයෙක්. ඕනෑම පීඩනයක් සහ අභියෝගයක් දරාගැනීමට ඔහුට ඇති හැකියාව දැවැන්තයි. ඔහුට හැකියි කියා මම විශ්වාස කරනවා. ඔහු අපූරු යෞවනයෙක්. ඔහුගේ හැකියාව ගැන නිහඬව බලාසිටින්න. ඔහු තමුන් කවරෙක්ද යන්න අනාගතයේදී ඔප්පු කර පෙන්වනු ඇති’ යනුවෙන් පවසයි.

තම පෞද්ගලිකත්වය සැබෑ පෞද්ගලිකත්වයක් ලෙසින් සුරැකීමට කැමැත්ත දැක්වූ මයිකල් ෂුමාකර් ස්විස්ටර්ලන්තයේ පෞද්ගලික මුහුදු වෙරළක් සහිත භූමි භාගයක විශාල නිවස්නයක් ඉදිකළ සිදුවීම මෙහිදී අප ඔබට සිහිපත් කරන්නට කැමතිය. ඔහු භූගත ගරාජයක්, ඉන්ධන හලකින් සමන්විත වන ආකාරයට මෙම නිවස්නය ඉදිකළ ආකාරයත් විවිධ අනවශ්‍ය පුද්ගලයන්ගේ බලපෑම්වලට යටත් නොවී ස්වකීය පවුල් ජීවිතය පවත්වාගෙන යාමට ගත් ප්‍රයත්නයක් වශයෙනි. එවැනි පෞද්ගලිකත්වයක් පවත්වාගෙන ගිය විශිෂ්ට දක්ෂයකුවූ සිය පියා මෙන් තම පළමු පුහුණු ධාවන සැසියට සහභාගිවූ මික් ෂුමාකර් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආකාරයත් එහිදී මාධ්‍යවේදීන්ගේ උකුසු ඇස් සහ දැඩි ප්‍රශ්නාවලියෙන් නිදහස්ව ස්වාධීනව පිළිතුරුදීමට උත්සහ කළ ආකාරයෙනුත් කියැවෙන්නේ ඔහු අනගාතයේ තම පියාවන මයිකල් ෂුමාකර්ට නොදෙවෙනි පුද්ගලයකු වනු ඇතිබවය.

මාතෘකා