සමාජ විෂමත්වය බිඳ හෙළන ක්‍රීඩාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර

 ඡායාරූපය:

සමාජ විෂමත්වය බිඳ හෙළන ක්‍රීඩාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර

ක්‍රීඩාව ලෝකයට බිහිවූයේ කෙලෙසින්ද යන්න විවාදිත මාතෘකාවකි. ඒ ක්‍රීඩාව නිර්මාණයවීම සම්බන්ධයෙන් විවිධ අර්ථ කථන ඇති හෙයිනි. ඒ අතරින් ප්‍රමුඛ ලෙසින් පිළිගත හැකි කාරණයක් වනුයේ මානව සමාජය ප්‍රගමනය ලබද්දී මිනිසා සතුව ඉතිරිවූ කාලය ක්‍රීඩාව බිහිවීමට මං පෑදුවේය යන්නය. එනම් ආහාර මූලික කරගනිමින් ජීවිතය ගොඩනංවාගත් මිනිසා ලද අතිරික්ත කාලය සාහිත්‍ය, කලාව සහ ක්‍රීඩාව බිහිකරලීමට මං පෑදීය. එලෙස සිතන කල්හි ක්‍රීඩාව ඉපැදුණේද මානව හැඟීම් ප්‍රකාශයට පත්කිරීමේ තවත් ප්‍රධාන මාර්ගයක් වශයෙනැයි පැවසිය හැකිය.

මේ ආකාරයෙන් වසර දහස් ගණනක් තිස්සේ ඇදී ආ ක්‍රීඩාව ග්‍රීක යුගයෙන් ගෞරවනීය නියෝජනයක් වශයෙන් සැලකෙන තත්ත්වයට පත්විණි. ඒ ඔලිම්පික් වැනි ක්‍රීඩා ඉසව්වක් හරහාය. එහිදී ජයග්‍රාහකයා ඔලිව් අත්තකින් සමරන තත්ත්වයට පත්වූයේය. ක්‍රීඩාවේ ඇගයීමේ ක්‍රමවේදයක් නිර්මාණයවීම ඔලිව් අත්තකින් හා ඔලිව් කොළවලින් තැනූ ඔටුන්නක් මගින් සංකේතවත් කෙරුණේ ඒ ආකාරයෙනි. මෙලෙස සාමකාමී සුපහන් ආකාරයෙන් ඇරඹි ක්‍රීඩාව රෝමන් යුගයට පිළිපන්විට ඇතිවූයේ තරගකාරී භාවයකි. එහිදී ක්‍රීඩාවේ නියැලෙන එකිනෙකා අතර උග්‍ර තරගකාරිත්වයක් නිර්මාණය වුණේය. එමගින් සිදුවූයේ වෙනස්ම ආරක ක්‍රීඩාවක් නිර්මාණය වීමය. ජයග්‍රහණය වෙනුවෙන් බොහෝදේ කැප කරන්නට, බොහෝ උපක්‍රම භාවිත කරන්නට ක්‍රීඩකයන් උත්සහ කළේයැයි කිව යුත්තේ එහෙයිනි. එහෙත් සමස්තයක් වශයෙන් විවිධ යුග පසුකරමින් පැමිණි ක්‍රීඩාව සැලකෙනුයේ සමාන පහසුකම් සහිතව ලෝකයේ වෙසෙන ඕනෑම පුද්ගලයකුට පෙනී සිටීමට වරම් ලබන අවස්ථාවක් ලෙසය. ඒ අනුව ක්‍රීඩාව සැලකූවේ සමාජ විෂමතා බිඳ දමන, විවිධ පටු වාද භේද සුන්කරන සුර දූතයන්ගේ වේදිකාවක් වශයෙනි.

ක්‍රීඩාව එතරම් උත්තරීතර ලෙස සැලකිය හැක්කේ එය ලෝක විෂමතා පහකරන සමාන අවස්ථා නිර්මාණය කරන තෝතැන්නක් ලෙසින් සැලකෙන හෙයිනි. සාමය, සුහදත්වය රැගෙන ලොව පුරා පියාසර කරන පරෙවියන් එසේ නැතහොත් සමනළ රෑනක් ලෙසින් ක්‍රීඩකයන්, ක්‍රීඩකත්වය සලකනු ලැබේ. එහෙත් එවන්වූ ක්‍රීඩාව තුළද විවිධ විෂමතා ගොඩනැංවූ අවස්ථාවන් ඉතිහාසය පුරා දක්නට ලැබෙයි. පසුගියදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන ඇතුළු ස්ථාන රැසකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ඇතුළු ත්‍රස්ත ප්‍රහාරයත් ක්‍රීඩාවට එල්ලවූ එවැනි ප්‍රහාර සිහිපත් කරනු ලැබේ. මේ ඒ සම්බන්ධයෙන් ලියැවෙන සංක්ෂිප්ත ලිපියකි.

මියුනිච් ඔලිම්පික් ප්‍රහාරය

ත්‍රස්තවාදයට හදවතක් ඇත්තේ නැත. සමාජය ත්‍රස්ත කළහැකි ස්ථානය කුමක් වුවද එය තෝරාගැනීමට නොපැකිළිව කටයුතු කිරීම ත්‍රත්වාදයේ ස්වරූපයය. එහිදී ක්‍රීඩා පිටිය කියා සමාජය ත්‍රස්ත කරන ත්‍රස්තවාදීන්ට වෙනසක් නැත. අප එසේ කියන්නේ ඉතිහාසය පුරා ත්‍රස්තයන් අවස්ථා ගණනාවකදී හැසිරී ඇති ආකාරය සම්බන්ධයෙන් සලකන කල්හිය. එවන්වූ ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ලෝකය සසළ කළ අවස්ථා ගණනාව අතරින් නිරතුරුව සිහිපත්වන ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස මියුනිච් ඔලිම්පික් උලෙළට එල්ලවූ ප්‍රහාරය සැලකිය හැකිය. එය තවත් අතකින් ක්‍රීඩා ඉතිහාසයේ එල්ලවූ දරුණුම ප්‍රහාරය ලෙසින් සැලකෙයි.

එම මියුනිච් ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණේ 1972 වසරේදීය. එහිදී පලස්තීන ජාතිකයන්ගෙන් සැදුම්ලත් අවිගත් කණ්ඩායමක් විසින් ඊශ්‍රායල් ඔලිම්පික් කණ්ඩායම ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි. එම ප්‍රහාරය හේතුවෙන් ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් 11ක් ජර්මානු පොලිස් නිලධාරියෙක් මරණයට පත්වූහ. පළමුව ඔලිම්පික් ක්‍රීඩක ගම්මානයට කඩා වැදුණු අවිගත් පලස්තීන ත්‍රස්තයන් ඊශ්‍රායල් ක්‍රීඩක කණ්ඩායමේ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් ඝාතනය කරමින් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරනු ලැබුණේය. එහිදී ඔවුන් කියාසිටියේ ඊශ්‍රායල් සිරකඳවුරු තුළ සිටින පලස්තීන සිරකරුවන් 234 දෙනෙකු නිදහස් කරන්නට වහා ක්‍රියාකරන ලෙසය. එසේ නොකරන්නේ නම් ඊශ්‍රායල් ඔලිම්පික් ක්‍රීඩකයන් ඝාතනය කරන බවට ත්‍රස්තයෝ තර්ජනය කළහ. මේ හේතුවෙන් තරග නරඹන්නන් අසූ දහසක් සහ ක්‍රීඩකයන් තුන්දහසකගේ සහභාගිත්වය සහිතව පැවැත්වෙමින් තිබුණු එම ඔලිම්පික් උලෙළ අතර මඟදී අවලංගුකර දැමීමට කටයුතු කරනු ලැබුණේය.

ඇමෙරිකාවේ ඇට්ලන්ටා ඔලිම්පික් ප්‍රහාරය

1996 වසරේදී මෙම ප්‍රහාරය එල්ලවූයේ ඔලිම්පික් තරග නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගනිමිනි. ජූලි 27 වැනිදා ඔලිම්පික් උලෙළ නැරඹීමට පැමිණි නරඹන්නන් රැඳීසිටින ප්‍රේක්ෂකාගාරයක බෝම්බ අටවා මෙම විනාශය සිදුකිරීමට කටයුතු කර තිබිණි. නමුත් එය පුපුරා යනවිට විශාල පිරිසක් ඉන් මුදවා ගැනීමට සංවිධායකයන්ට හැකිවිය. එක් ප්‍රේක්ෂකයෙක් අදාළ බෝම්බ ප්‍රහාරයෙන් මිය යද්දී 111ක් තුවාල ලැබූ අතර පසුව හෘදයාබාධයක් හේතුවෙන් තවත් එක් පුද්ගලයෙක් මිය ගියේය. එකී ප්‍රහාරය සැලසුම්කර තිබුණේ එරට යුද හමුදාවේ සේවය කර තිබූ පුද්ගලයෙකු බව පසුව අනාවරණය විණි. රජය විසින් ගනු ලැබූ ඇතැම් තීන්දුවලට එරෙහිවීමක් වශයෙන් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබුණේයැයි පසුව අදාළ ඝාතකයා විසින් පාපොච්ඡාරණය කරනු ලැබුණේය. ගබ්සා මධ්‍යස්ථාන ආරම්භ කිරීම මෙන්ම සමලිංගිකයන් සඳහා සමාජ ශාලා වෙන්කිරීම යන ප්‍රතිපත්තිමය තීරණයන්ට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කළ බව පසුව ඔහු පිළිගත්තේය. කෙසේ වෙතත් පාලකයාට විරෝධය පළකිරීමට ක්‍රීඩා පිටියක් යොදාගැනීමට කටයුතු කිරීම සැලකිය යුත්තේ අභය භූමියක සිදුකරන ඝාතනයක් ලෙසින් මිස අන් ආකාරයකට නොවේ.

පාකිස්තානයේදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාර

පාකිස්තානයේ ක්‍රිකට් තරග පැවැත්වීමට ආසන්නයේ එල්ලවූ ප්‍රහාර මාලාවන් ගැන පසුගිය කාලය පුරා වරින් වර අසන්නට ලැබිණි. එහි දරුණුතම අවස්ථාව ලෙස 2009 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කරගනිමින් එල්ලවූ ප්‍රහාරය දැක්විය හැකිය. එම ප්‍රහාරය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් එල්ලවූ අතර එම මරාගෙන මැරෙන ප්‍රහාරය සමස්ත ක්‍රිකට් ක්‍රීඩා කරන රාජ්‍යයන් සහ වෙසෙසින් ආසියානු කලාපීය රටවල් සියල්ල කම්පා කරවනු ලැබුණේය. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගෙන පැමිණි බස් රථයට ත්‍රස්තවාදීන් දරුණු වෙඩි ප්‍රහාරය එල්ල කළ අතර එයට පෙර ගමන් ගත් පරිවාර රථ සහ විනිසුරුවන් හා ආරක්ෂකයන් රැගත් රථද ප්‍රහාරයන්ට ලක්විය. එහිදී පුද්ගලයෝ රැසක් මිය ගියහ. මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සමූල ඝාතනය කිරීමේ අපේක්ෂාවක් මෙන්ම ඔවුන් ප්‍රාන ඇපයට ගැනීමේ අවශ්‍යතාවක් ඉස්ලාම් ත්‍රස්තයන් සතුවූ බව එකල ප්‍රකාශ වුණේය. මේ අනුව බලන කල ශ්‍රී ලාංකිකයන් විෂයේ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන එල්ල කරන ප්‍රහාරවල පළමු වැන්න ලෙසින් සැලකිය හැක්කේ 2009 වසරේදි පාකිස්තානයේදී එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරය ලෙසින් සැලකිය හැකිය.

මීට පෙර 2002 වසරේදීද පාකිස්තානයේ සංචාරය කළ නවසීලන්ත කණ්ඩායම රැඳීසිටි හෝටලය පිටත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයක් එල්ල කෙරුණේය. ඒ කරච්චි නුවර දීය.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රහාර

ක්‍රීඩාව ත්‍රස්ත කළ තවත් ප්‍රහාර රැසක් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් එල්ල කෙරුණු බව පැවසිය යුතුය. ඒ අතර ප්‍රමුඛ ප්‍රහාරයක් වශයෙන් සැලකිය හැකි ප්‍රහාරයක් ලෙසින් 1996 වසරේ එල්ලවූ මහ බැංකු ප්‍රහාරය දැක්විය හැකිය. එම ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරග වර්ජනය කිරීමට ලෝකයේ ඇතැම් රටවල් කටයුතු කරනු ලැබුණේය. එම අවස්ථාවේදී ඉන්දීය සහ පාකිස්තාන කණ්ඩායම් ඒකාබද්ධව නිර්මාණය කරගත් කණ්ඩායමක් මෙරටට පැමිණ ශ්‍රී ලංකාව තුළ තරගයකට සහභාගිවෙමින් තරග පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළ ඇතැයි ප්‍රකාශ කළේය.

මේ අතර මැරතන් ශූරයකුවූ කේ.ඒ. කරුණාරත්න, අමාත්‍යවරයකු ඇතුළු විශාල පිරිසකට මරු කැඳවමින් 2008 වසරේදී වැලිවේරියේ පැවැති මැරතන් තරගයක් අතරතුර මරාගනෙ මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම මෙරට තුළ ක්‍රීඩාවට එරෙහිව ත්‍රස්තවාදය දරුණු ආකාරයෙන් ක්‍රියාත්මක වූ අවස්ථාවක් වශයෙන් දැක්විය හැකිය. ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස් මහතාද එහිදී මරණයට පත්වූවන් අතර විය.

ඇෆ්ගනිස්ථානයේ එල්ලවූ ප්‍රහාර

කලාපයේ දරුණුම සටන් පවතින රාජ්‍යයක් වශයෙන් සැලකිය හැකි ඇෆගනිස්ථානයේ ක්‍රීඩාව ඉලක්ක කරගනිමින් එල්ලවූ ප්‍රහාර අසීමිතය. කිසිදු අපේක්ෂාවක් නොමැතිව ත්‍රස්තවාදයෙන් බැට කන රාජ්‍යයක් ලෙස සැලකිය හැකි ඇෆ්ගන් ජනතාව යළි ත්‍රස්තවාදයෙන් මුදවා ප්‍රජාතන්ත්‍රික පාලනයකට එක් කරගැනීමේ යතුර වශයෙන් ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික හමුදා ක්‍රීඩාව යොදාගත්තේය. ක්‍රීඩාව භාවිත කරමින් ඉන් උපයා ගත හැකි ධනය, පිළිගැනීම, සතුට මෙන්ම සංචරණ අවස්ථාව ආදිය සැලකිල්ලට ගනිමින් ඇෆ්ගන් යෞවනයෝ ක්‍රීඩාව වටා එක්වන්නට විය. එම ප්‍රවනතාව දුටු අන්තවාදී ත්‍රස්තයන් ක්‍රීඩාවට එරෙහිව යුද්ධයක් දියත් කරනු ලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ තරග පැවැත්වෙන ස්ථාන ආශ්‍රිතව බෝම්බ ප්‍රහාර එල්ල කිරීමය.

බොස්ටන් මැරතන් තරගය

සුප්‍රකට ඇමරිකාවේ බොස්ටන් මැරතන් තරගයට එල්ලවූ ප්‍රහාරයක් වාර්තවුණේ 2013 වසරේදීය. අප්‍රේල් 15 වැනිදා ගෘහස්ථව භාවිතවන පීඩන උදුනක බෝම්බයක් අටවා පිපිරවීමක් සිදුකළ අතර එයින් පුද්ගලයන් තිදෙනෙක් ඝාතනය කර තවත් සියයකට අධික පිරිසක් තුවාල ලැබීය. පෙරකී ප්‍රමුඛ ප්‍රහාරයන්ට අමතරව ක්‍රීඩාවට එරෙහිව තවත් විවිධ ප්‍රහාරයන් වාර්තාවී ඇතිබව පැවසිය යුතුය. ක්‍රියාත්මක නොවූ ප්‍රහාර සැලසුම් රැසක්ද ඒ අතර තිබෙන්නේ පිළිවන. කෙසේ නමුත් ක්‍රීඩාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රවනතාවක් නිර්මාණයවී ඇත්තේ ක්‍රීඩාව යනු සමාජය එක රැහැනකින් බඳිනු ලබන මහා ප්‍රයත්නයක් ලෙසින් සැලකිය හැකි හෙයිනි. සමාජ දේහය කීතු කීතුවලට ඉරාදමා ක්ෂුද්‍ර අංශුවලට බිඳදැමීමට ගන්නා උත්සහයට ප්‍රධානතම බාධකය ක්‍රීඩාව තුළින් බව ත්‍රස්තවාදී සංවිධාන තේරුම් ගැනීමෙන්ය. එහෙයින් ලෝකයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන බලධාරීන් ක්‍රීඩාව වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදිය යුතුව ඇත්තේ එවැනි ත්‍රස්ත ක්‍රියා පරාජය කරමින් ත්‍රස්තවාදයේ තිඹිරිගෙය විනාශ කිරීම ක්‍රීඩාව මගින් සිදුකළ හැකි හෙයිනි.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි