ශ්‍රී ලංකාව සියලුම තරග පරාජය වෙයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව සියලුම තරග පරාජය වෙයි

ශ්‍රී ලංකාව මෙම තරගාවලියෙදී තරග 6කට සහභාගි විය.

ඒ පාකිස්ථානය, එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව්වන් සමග තරග දෙක බැගිණි. ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ අසාර්ථකම තරගාවලිය බවට මෙම තරගාවලිය පත් වූයේ ශ්‍රී ලංකාව එම තරග 6ම පරාජයට පත් වෙමිනි.

පාකිස්ථානයේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දී ඔක්තෝබර් 13 වැනිදා ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැති තරගය ලෝක වාර්තා අලුත් කළ තරගයක් බවට පත් කරමින් අවසන් විය.

එම තරගයේදී කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීම සඳහා කොදෙව්වන්ට ආරාධනා කළ අතර කොදෙව්වන් එම ආරාධනය පිළිගත්තේ පන්දුවාර 50 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 360ක් රැස් කරමිණි. එය එක්දින තරග ඉතිහාසයේ කණඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් විය.

අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි කොදෙව් නායක විවියන් රිචඩ්ස් පන්දු 125කින් ලකුණු 181ක් ලබා ගැනීමට සමත් විය. එය පිතිකරුවෙක් එක්දින තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවයි. රිචඩ්ස්ගේ ඉනිමට හතරේ පහර 16ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය. ඩෙස්මන් හේන්ස්ද ලකුණු 105ක් රැස් කළේය. මෙහිදි ශ්‍රී ලංකා පන්දුයවන්නන් අතරින් දරුණුම ප්‍රහාරයකට ලකුවූයේ විවියන් රිචඩ්ස්ගේ කඩුල්ල දවාගත් අසන්ත ද මෙල්ය. ඔහු යැවූ පන්දුවාර 10දී ලකුණු 97ක් ලබා ගැනීමට කොදෙව්වෝ සමත් වූහ.

ශ්‍රී ලංකාවේ පිළිතුරු ඉනිම පන්දුවාර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 169කට සීමා විය. අසංක ගුරුසිංහ ලකුණු 36ක් රැස් කළේ පන්දු 108කිනි. නොදැවී සිටි පිතිකරුවන් දෙදෙනා වූයේ ලකුණු 52ක් රැස් කළ අර්ජුන රණතුංග සහ ලකුණු 37 ලබා සිටි දුලිප් මෙන්ඩිස් ය. තරගයෙන් කොදෙව්වන්ට ලකුණු 191ක දැවැන්ත ජයක් හිමි විය.

ලකුණු සාරාංශය

කොදෙව් කණ්ඩායම (පන්දුවාර 50දී කඩුලු 4ක් දැවී) 360

(විවියන් රිචඩ්ස් 181, ඩෙස්මන් හේන්ස් 105, ඔගස්ටීන් ලෝගී 31,

රවී රත්නායක 2/68)

ශ්‍රී ලංකාව (පන්දුවාර 50දී කඩුලු 4ක් දැවී) 169

(අර්ජුන රණතුංග නොදැවී 52, දුලිප් මෙන්ඩිස් නොදැවී 37,

අසංක ගුරුසිංහ 36, කාල් හූපර් 2/39)

මාතෘකා