1987 ලෝක කුසලානය : ගැටින්ගේ රිවර්ස් ස්වීප් වරදින් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

 ඡායාරූපය:

1987 ලෝක කුසලානය : ගැටින්ගේ රිවර්ස් ස්වීප් වරදින් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

පළමු ලෝක කුසලාන තරගාවලි තුනම එංගලන්තයේ පැවැත්වීමෙන් පසුව පළමු වරට එංගලන්තයෙන් පිට තරගාවලියක් පැවැත්වූ අවස්ථාව මෙයයි. තරගාවලිය පැවැතියේ ඉන්දියාවේ සහ පාකිස්ථානයේ සම සත්කාරකත්වයෙන් 1987 ඔක්තෝබර් 8 වැනිදා සිට නොවැම්බර් 8 වැනිදා දක්වාය. සත්කාරක රටවල් දෙකට අමතරව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව සමග එතෙක් ටෙස්ට් වරම් හිමි නොවී සිටි සිම්බාබ්වේ සහභාගි විය.

ඉන්දියාවේ ක්‍රීඩාංගණ 14කදී සහ පාකිස්ථානයේ ක්‍රීඩාංගණ 7කදී තරග පැවැත්විණි. කණ්ඩායම් 8 කාණ්ඩ දෙකකට බෙදා ලීග් ක්‍රමයට පැවැති අතර පළමු වටයේදී එක් කණ්ඩායමකට තරග 6ක් හිමි විය. ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ සිම්බාබ්වේ තරග වැදුණු අතර පාකිස්ථානය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව බී කාණ්ඩයෙන් තරගාවලියට එක් විය. පළමු වරට පන්දුවාර 50 තරග පැවැත්වූයේ මෙම තරගාවලියේදීය. මෙයට පෙර පැවැති තරගාවලි තුනේදීම පැවැතියේ පන්දුවාර 60 තරගයි.

සහභාගී වූ තරග 6න් 5 බැගින් ජයගනිමින් ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඒ කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර පාකිස්ථානය තරග 5ක් සහ එංගලන්තය තරග 4ක් ජයගනිමින් බී කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක් විය.

අවසන් පූර්ව තරග

පළමු අවසන් පූර්ව තරගය පැවැතියේ පාකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව අතර ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී නොවැම්බර් 4 වැනිදාය. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු පිතිකරුවන් 6දෙනාගෙන් 5දෙනෙකුම ලකුණු අතරට පැමිණි නිසා පහසුවෙන්ම පන්දුවාර 50දී කඩුලු 8කට ලකුණු 267ක් රැස් කිරීමට හැකි විය. ආරම්භක පිතිකරු ඩේව්ඩ් බූන් පන්දු 91කින් ලකුණු 65යි. ඉනිමේ එකම අර්ධ ශතකය. මයික් වැලේටා 48යි, ස්ටීව් වෝ නොදැවී 32යි. නායක ඉම්රාන් ඛාන් ලකුණු 36ට කඩුලු 3යි.

පිළිතුරු ඉනිමේදී පාකිස්ථානයේ පළමු කඩුලු 3 ලකුණු 38කට බිඳ වැටුණු අතර ඉතා සීරුවෙන් සිව්වෙනි කඩුල්ල සඳහා නායක ඉම්රාන් සහ ජාවෙඩ් මියන්ඩාඩ් ලකුණු 112ක් එක් කිරීමට සමත් විය. මියන්ඩාඩ් ලකුණු 70ක් සහ ඉම්රාන් ලකුණු 58ක් කණ්ඩායමට එක් කළහ. ඉතිරි පිතිකරුවන්ගේ සහාය නොලැබීම නිසා පාකිස්ථාන ඉනිම ලකුණු 249කට සීමා විය. ක්‍රේග් මැක්ඩමොට් ලකුණු 44කට කඩුලු 5යි. ලකුණු 18ක පරාජයක් පාකිස්ථානයට අත්වීමෙන් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමේ වරම එක් සත්කාරක රටක්වූ පාකිස්ථානයට අහිමි විය.

නොවැම්බර් 5 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගය පැවැතුණේ බොම්බායේ වන්කඩේ ක්‍රීඩාංගණයේදීය. ග්‍රැහැම් ගූච් පන්දු 136කින් ලකුණු 115ක් රැස් කරමින් ලබාගත් ශතකයේ පදනම මත පන්දුවාර 50දී කඩුලු 6ක් දැවී ලකුණු 254ක් ලබා ගැනීමට එංගලන්තය සමත් විය. නායක මයික් ගැටින්ද අර්ධ ශතකයක් (56) රැස් කළේය. ජයග්‍රහණය සඳහා ලකුණු 255ක් ලබා ගැනීමට පිටියට පැමිණි ඉන්දියාව එක් අවස්ථාවක කඩුලු 5කට ලකුණු 204ක් ලබා ජයග්‍රාහී තත්ත්වයක සිටි අතර එඩී හෙමින්ග්ස් විසින් මොහොමඩ් අසාරුදීන්, රවිශාස්ත්‍රී සහ චේතන් ෂර්මා දවා ගැනීමත් සමගම සියලුම ඉන්දීය පිතිකරුවෝ ලකුණු 219කට දැවී ගියහ. ඉනිමේ එකම අර්ධ ශතකය අසාරුදීන් වාර්තා කළ අතර ඔහු ලැබූ ලකුණු සංඛ්‍යාව 64කි. එඩී හෙමින්ග්ස් ලකුණු 52කට කඩුලු 4ක්ද, නීල් ෆොස්ටර් ලකුණු 47කට කඩුලු 3ක්ද දවාලූහ. ඉන්දියාව තරගයෙන් ඉවත් වීමත් සමගම දෙවැනි සත්කාරක රටද අවසන් තරගයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් විය.

අවසන් තරගය

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයක් සඳහා එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබා සිටි දෙවැනි අවස්ථාව මෙයයි. එහෙත් දෙපිලම මෙතෙක් කුසලානය දිනා ගැනීමට අසමත්ව සිටි නිසා මෙවර කුසලානය කෙසේ හෝ දිනා ගැනීම සඳහා දෙපිලම දැඩි අධිෂ්ටානයක පසු විය. දෙපිලටම සත්කාරකත්වයේ වාසිය හිමිවී නොතිබුණත් අවසන් පූර්ව තරගයේදී එංගලන්තය අතින් ඉන්දියාව පරාජයවූ හෙයින් තරගය නැරඹීමට රැස්ව සිටි ඉන්දියානුවන්ගේ සහාය හිමි වූයේ ඔස්ට්‍රෙලියා කණ්ඩායමටයි.

අවසන් තරගය සඳහා නම්කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පිතිකරුවන් වූයේ ඇලන් බෝඩර් (නායක), ඩේවිඩ් බූන්, ජෙෆ් මාෂ්, ඩීන් ජෝන්ස් සහ මයික් වැලේටාය. ග්‍රේග් ඩයර් කඩුලු රකින්නා විය. ස්ටීව් වෝ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ලෙසට කණ්ඩායම ඇතුළත් විය. ක්‍රේග් මැක්ඩමොට්, බෘස් රීඩ් සහ සයිමන් ඕ ඩොනල් වේග පන්දු වන්නෝ වූ අතර ටිම් මේ දඟ පන්දු යවන්නා විය. මයික් ගැටින්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමේ ගැටින් සමග ටිම් රොබින්සන්, ග්‍රැහැම් ගූච්, බිල් ඇතේ, ඇලන් ලෑම්බ් පිතිකරුවන් ලෙස කටයුතු කළ අතර කඩුලු රැකීමේ වගකීම දැරුවේ පෝල් ඩවුන්ටන් විසිනි. පිල් ඩිෆ්රෙයිටාස්, ග්ලැඩ්ස්ටන් ස්මෝල් සහ නීල් ෆොස්ටර් වේගපන්දු යවන්නන් ලෙසද ජෝන් එම්බියරි සහ එඩී හෙමින්ග්ස් දඟ පන්දු යවන්නන් ලෙසද කණ්ඩායමට නම්කර සිටියහ.

කල්කටාවේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී 95,000ක නරඹන්නන් පිරිසක් ඉදිරියේ ආරම්භ වූ අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඔස්ටේලියානු නායක ඇලන් බෝඩර්මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළ අතර පළමු කඩුල්ල සඳහා ලකුණු 75ක් කණ්ඩායමට එක් කිරීමට ඩේවිඩ් බූන් සහ ජෙෆ් මාෂ් සමත් වූහ. මාෂ් ලකුණු 24යි. දෙවැනි කඩුල්ලට තවත් ලකුණු 76ක් එක් කිරීමට බූන් සමග එක්වූ ඩීන් ජෝන්ස් සමත් වීමත් සමගම ඔස්ට්‍රේලියාව කඩුලු දෙකක් දැවී ලකුණු 150 සීමාව පසු කළේය. ජෝන්ස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 33කි. අංක 4 පිතිකරු ලෙස උසස් වීමක් ලබා පැමිණි මැක්ඩමොට් පන්දු 8කිල් ලකුණු 14ක් ලබා දැවී ගියේය. පන්දු 125කින් ලකුණු 75ක් රැස් කළ බූන් ඉනිමේ එකහ අර්ධ ශතක ලාභියා විය. පස්වැනි කඩුල්ලට වේගවත් ලකුණු 73ක් රැස් කිරීමට නායක බෝඩර් සහ මයික් වැලේටා සමත් වූහ. බෝඩර් ලකුණු 31කට දුවද්දී දැවී යාමෙන් ඔවුන්ගේ සබඳතාවය අවසන් වූ අතර වැලේට පන්දු 31කින් නොදැවී ලකුණු 45ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සමගිණි. පන්දුවාර 50 අවසන් වන විට ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 253ක් ලබා සිටියේය.

පළමු පන්දුවාරයේදීම ලකුණු බින්දුවකට ටිම් රොබින්සන් දවාගත් මැක්ඩමොට් ඔස්ට්‍රේලියාවට ජයග්‍රාහී ආරම්භයක් ලබා දීමට සමත් විය. සයිමන් ඕ ඩොනල් විසින් ග්‍රැහැම් ගූච් දවා ගන්නා විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු දෙකක් දැවී ලකුණු 66ක් විය. ගූච් දැවී ගියේ ලකුණු 35කට ය. අංක 3 පිතිකරු බිල් ඇතේ සමග එක්වූ නායක ගැටින් ඉතා පහසුවෙන් සිය ජයග්‍රාහී ඉලක්කය හඹා යන්නට විය. එක් අවස්ථාවක එංගලන්ත කඩුලු දෙකක් දැවී ලකුණු 135ක් ලබා ප්‍රබල තත්ත්වයක පසු විය. එම අවස්ථාවේදී මෙම පිතිකරුවන් දෙදෙනාගේ සබඳතාවය බිඳ දැමීම සඳහා ඔස්ට්‍රේලියා නායකයා පන්දු යවමින් සිටියේය. මෙතෙක් වේලා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ගැටින් බෝඩර්ගේ පන්දුවකට රිවර්ස් ස්වීප් පහරක් එල්ල කළේය. එකල දැන් මෙන් මෙවැනි පහරවල් සුලභ නොවීය. ගැටින්ගේ පහර වැරදුණු අතර පිත්තේ ඉහළ දාරයේ වැදුණු පන්දුව ඉහළ ගියේය. ආපසු පැමිණෙන පන්දුව කඩුලු රකින ඩයර්ගේ අත් ආවරණවල සුරක්ෂිතව තැන්පත් විය. ගැටින් දැවී ගියේ ලකුණු 41කටය. ඒ ගැටින් විසින් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට පූජා කළ අවස්ථාවයි.

මුලු ලකුණු සංඛ්‍යාව 170 බිල් ඇතේ දුවද්දී දැවී යන විට ලකුණු 58ක් රැස්කර තිබුණි. ඉන් පසුව පොල් ඩවුන්ටන් ලකුණු 9කටත්, ජෝන් එම්බියුරි ලකුණු 10ටත් දැවී ගිය අතර ඇලන් ලෑම්බ් ලකුණු 45ක් රැස්කර සිටයදී ස්ටීව් වෝගේ පන්දුවක දැවී යාමත් සමගම එංගලන්ත සටන අවසන් විය. එවිට ලකුණු පුවරුව දිස් වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 220ක් ලෙසිනි. ඩිෆ්රෙයිටාස් රැ කලේ ලකුණු 17කි. අවසානයේ එංගලන්තය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 246ක් පමණි. ලකුණු 7ක ජයක් සමග ඔස්ට්‍රේලියාවට සිව්වැනි ලෝක කුසලානය හිමි විය. තරගයේ වීරයා වූයේ ලකුණු 75ක් රැස් කළ ඩේවිඩ් බූන් ය.

ලකුණු පුවරුව

ඔස්ට්‍රේලියාව

ඩේවිඩ් බූන් ඇ. ඩවුන්ටන් ප. හෙමින්ග්ස් 75

ජෙෆ් මාෂ් ප. ෆොස්ටර් 24

ඩීන් ජෝන්ස් ඇ. ඇතේ ප. හෙමින්ග්ස් 33

ක්‍රේග් මැක්ඩමොට් ප. ගූච් 14

ඇලන් බෝඩර් (දුවද්දී දැවී ගියා) 31

මයික් වැලේටා නොදැවී 45

ස්ටීව් වෝ නොදැවී 05

අතිරේක 26

මුලු ලකුණු (පන්දුවාර 50කදී කඩුලු 5ක් දැවී) 253

 

පන්දු යැවීම

පිල් ඩිෆ්රෙයිටාස් 6-1-34-0

ග්ලැඩ්ස්ටන් ස්මෝල් 6-0-33-0

නීල් ෆොස්ටර් 10-0-38-1

එඩී හෙමින්ග්ස් 10-1-48-2

ජෝන් එම්බියුරි 10-0-44-0

ග්‍රැහැම් ගූච් 8-1-42-1

 

එංගලන්තය

ග්‍රැහැම් ගූච් ක.මු.ක. ප. ඕ ඩොනල්ඩ් 35

ටිම් රොබින්සන් ක.මු.ක. ප. මැක්ඩමොට් 00

බිල් ඇතේ (දුවද්දී දැවී) 58

මයික් ගැටින් ඇ. ඩයර් ප. බෝඩර් 41

ඇලන් ලෑම්බ් ප. වෝ 45

පෝල් ඩවුන්ටන් ඇ. ඕ ඩොනල්ඩ් ප. බෝඩර් 09

ජෝන් එම්බියුරි (දුවද්දී දැවී) 10

පිල් ඩිෆ්රෙයිටාස් ඇ. රීඩ් ප. වෝ 17

නීල් ෆොස්ටර් නොදැවී 07

ග්ලැඩ්ස්ටන් ස්මෝල් නොදැවී 03

අතිරේක 21

මුලු ලකුණු (පන්දුවාර 50දී කඩුලු 8ක් දැවි) 246

 

පන්දු යැවීම

ක්‍රේග් මැක්ඩමොට් 10-1-51-1

බෘස් රීඩ් 10-0-43-0

ස්ටීව් වෝ 9-0-37-2

සයිමන් ඕ ඩොනල් 10-1-35-1

ටිම් මේ 4-0-27-0

ඇලන් බෝඩර් 7-0-38-2

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා