ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනිත් එක්වෙයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනිත් එක්වෙයි

පුහුණුකරු අද දිවයිනට

එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් ජනිත් එක්කරන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පැවසීය. මෙම තීරණය ඊයේ (16) භෞත චිකිත්සකයන් ඇතුළු අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩලය සමඟ සිදුකළ සාකච්ඡා කිරීමෙන් හා යෝග්‍යතාවය විමසා බැලීමෙන් අනතුරුව ලබාගත් බව ඔහු සඳහන් කළේය.

සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය මූලික කරගනිමින් එහි තෝරාගැනීම් විධිමත් කිරීමටද තේරීම් කමිටුව මේ වනවිට සැලසුම් කර ඇත. පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා අද දිවයිනට ළඟාවීමට නියමිත අතර ඔහු හා විද්යුත් තැපෑල ඔස්සේ කරුණු හුවමාරු කරගැනීමට තේරීම් කමිටුව කටයුතු කර තිබිණි. ඒ අනුව හෙට (18) ක්‍රීඩකයන් පහළොස් දෙනෙකුගෙන් සමන්විත ලෝක කුසලාන අවසන් සංචිතය තෝරාගනු ඇත. ‘නායකයා විය යුත්තේ සංචිතයට ඇතුළුවන කෙනෙක්. ඉතින් නායකයා මුලින් තෝරලා බැහැ. අපි කරන්නේ කණ්ඩායම තෝරලා ඔවුන් අතර ඉන්න හොඳම නායකයා තෝරාගන්නා එකයි. මේ කරුණු දෙකම එකම දවසේ සිදුකරනවා’ තේරීම් කමිටු ප්‍රකාශකයෙක් 'රැසට' පැවසීය.

මේ අතර සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවන් අතරින් වැඩිම ලකුණ ලාභියා වශයෙන් දඹුල්ල කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියට පැමිණි අතර ඔහු ලකුණු 227ක් රැස්කළේ ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟිනි. එහි දෙවැනි තැන ගාල්ල කණ්ඩායමේ ළහිරු තිරිමාන්නට හිමිවිය. ඔහු එක් ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟ රැස්කළ ලකුණු සංඛ්‍යාව 213කි. එහි තෙවැනි තැන භානුක රාජපක්ෂ හිමිකරගෙන ඇත්තේ ලකුණු 176ක් රැස් කරමිනි. දිමුත් කරුණාරත්නට පස්වැනි ස්ථානයත් හයවැනි ස්ථානය ධනංජය ද සිල්වාටත්, මිලින්ද සිරිවර්ධනට නවවැනි තැනත් හිමිව ඇත.

හොඳම කඩුලු දවාගැනීම ලසිත් මාලිංග සතුකරගෙන ඇත්තේ තරග තුනකට පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 8ක් දවාගනිමිනි. එහි දෙවැනි තැන තිසර පෙරේරාට හිමිව ඇති අතර තෙවැනි තැන හිමිව ඇත්තේ ඔහු හා සම කඩුලු ලබාගත් කසුන් රාජිතටයි. ජීවන් මෙන්ඩිස් සිව්වැනි තැනට පත්ව ඇත්තේ තුන් ඉරියව් දක්ෂතා දක්වමිනි. සුරංග ලක්මාල් හයවැනි ස්ථානයට පත්ව තිබේ. මෙම තරගාවලියේදී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මෙන්ම පසුගිය තරගවල දැක්වූ දක්ෂතාත්, සමාලෝචනය කිරීමෙන් අනතුරුව අවසන් තේරීම් සිදුකිරීමට නියමිතව ඇත.

එය හෙට වනවිට අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි තේරීම් කමිටුව විශ්වාසය පළකරයි. පසුගිය 11 වැනිදා 'රැස' සමඟ අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ප්‍රකාශ කළේ හෙට (18 ) දිනයේ ලෝක කුසලාන සංචිතය නම් කරන බවයි. ඒ වෙනුවෙන් කිසිදු බලපෑමක් නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසූ අතර කුසල් ජනිත් පූර්ණ යෝග්‍යතාවයට පත්වීම පුහුණු තරගවලට පෙර සිදුවනු ඇතැයිද තේරීම් කමිටුව ප්‍රකාශ කළේය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා