ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ ගෙවීම් දිනුවොත් පමණයි

ක්‍රීඩක කොන්ත්‍රාත්තුවේ ගෙවීම් දිනුවොත් පමණයි

සභාපති ශම්මි සිල්වාගේ පරිපාලනයෙන් දැඩි තීන්දු

ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරනු ලබන සියලු ගෙවීම් තරග ජයග්‍රහණයන් ලැබීමෙන් පසුව පමණක් ලබාදීමට කටයුතු කරන බව දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කරමින් සකස් කළ නව ගිවිසුම් ලියැවිල්ලට මේ වනවිට ගිවිසුම් ගතවන සියලු ක්‍රිකට් ක්‍රීඩකයන් අත්සන් තබා තිබේ. ජයග්‍රහණය හිමිකරගැනීමට අපොහොසත් වන්නේ නම් එහි දැක්වෙන කොන්ත්‍රාත් මුදල් කිසිවක් නොගෙවන බවත් ක්‍රීඩකයන් විසින් තරගාවලි ජයග්‍රහණය කරන්නේනම් පමණක් තරග කොන්ත්‍රාත්තුවට හිමිකම් කියනු ලබන බවටත් ශම්මි ද සිල්වා පරිපාලනය කෙටුම්පත් කළ නව කොන්ත්‍රාත් ගිවිසුමේ සඳහන් වෙයි.

අදාළ ලියැවිල්ලට කිසිදු සංශෝධනයක් එක්නොකොට අත්සන් තැබීමට කොන්ත්‍රාත් පදනම යටතට අයත්වන ක්‍රීඩකයන් කටයුතු කළේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු 'රැස' හා පැවසීය. මේ අනුව ඉදිරි තරගාවලියන්හිදී පරාජය ලැබූවහොත් තරග ගාස්තු ගෙවීමක් සිදුනොකරනු ඇතැයි එම ආයතනය පැවසීය. ‘අපි මේ යෝජනාව ඉදිරිපත් කළවිට ක්‍රීඩකයන් ඊට එකඟවුණා. මොකද එය සාධාරණ යෝජනාවක්. තරග දිනද්දී කොන්ත්‍රාත් මුදල් දෙනවා. පරාජය වුණහම ඒ දේ ලැබෙන්නෙ නෑ. ඒකෙ ඇති කිසිම අසාධාරණයක් නැහැ. එවිට ක්‍රීඩකයන් තුළ ජයගැනීමේ පිපාසයක් ඇතිවෙනවා. කණ්ඩායම තුළ එකමුතුකමක් නිර්මාණය වෙනවා. දක්ෂතා ඇති ක්‍රීඩකයන් සියල්ල එකට කැටිවෙලා ජයග්‍රහණය සොයාගෙන යන්න පෙළඹෙනවා. ඒ නිසා මේ ක්‍රමය මනෝවිද්‍යාත්මකව ගත්තත් වාසිදායක තීරණයක්’ යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මාතෘකා