ශ්‍රී ලංකාව නවසීලන්තය පරදවයි

 ඡායාරූපය:

ශ්‍රී ලංකාව නවසීලන්තය පරදවයි

1983 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව එක් වූයේ ටෙස්ට් වරම් ලැබූ රටක් ලෙසිනි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව පෙරළියක් කරනු ඇති බවටද ඇතැම් විචාරකයන් අනාවැකි පලකළහ. ඒ සමඟම ශ්‍රී ලංකා පිතිකරුවන් පළමු තරගයේදී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කරමින් තරගාවලියට සාර්ථකව පිවිසීමට සමත් වූහ. ඔවුන් පළමු තරගයට මුහුණ දුන්නේ පාකිස්ථානය සමගිනි. පාකිස්ථානය ලකුණු 338ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ලකුණු 288ක් රැස් කළේය.

නවසීලන්තය සමග ඩාබිහිදී ශ්‍රී ලංකාව තරග වැදුණේ මෙම තරගාවලියේ ඔවුන්ගේ සිව්වෙනි තරගයටය. ශ්‍රී ලංකා නායක දුලිප් මෙන්ඩිස්ගේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස් කළ නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාවූ ග්ලේන් ටර්නර් සහ ජෝන් රයිට් මුලු ලකුණු සංඛ්‍යාව 8ක්ව තිබියදී දවා ගැනීමට අසන්ත ද මෙල් සමත් විය. එම ප්‍රබල ප්‍රහාරයෙන් ඇද වැටුණු සියලු නවසීලන්ත පිතිකරුවෝ 59 වැනි පන්දුවාරයේදී ලකුණු 181කට දැවී ගියහ. එක් අවස්ථාවකදී නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 116ක් ලබා සිටි අතර අවසන් පිතිකරුවන් දෙදෙනා වූ මාටින් ස්නෙඩ්න් (40) සහ ඉවාන් චැට්ෆීල්ඩ් (19) ලකුණු 65ක් අවසන් කඩුල්ල සඳහා එක් කළ හෙයින් නවසීලන්තයට ලකුණු 181ක් රැස් කිරීමට හැකි විය. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නා වූ අසන්ත ද මෙල් සිය පන්දුවාර 12දී නිලකුණු පන්දුවාර 4ක්ද සමග ලකුණු 32කට කඩුලු 5ක් දවා ගත්තේය.

පිළිතුරු ඉනිමේදී ශ්‍රී ලංකා කඩුලු දෙකක් ලකුණු 49කට බිඳ වැටී තිබූ අවස්ථාවේදී ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කුරුප්පු සමග එක්වූ රෝයි ඩයස් ලකුණු 80ක සබඳතාවයක් වාර්තා කිරීමට සමත් විය. බ්‍රෙන්ඩන් කුරුප්පු ලකුණු 62ක් රැස් කළේ පන්දු 120කට මුහුණ දීමෙනි. ජයග්‍රහණය දක්වාම නොදැවී කඩුල්ලේ රැඳී සිටි රෝයි ඩයස් පන්දු 101කින් ලකුණු 64ක් ක් රැස් කළේය. තරගය අවසන් වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක් හිමිවීමෙනි.

තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගී වූ තරග 6න් එක් තරගයක් පමණක් ජයගත් අතර තරග 5ක් පරාජය විය. එසේ වුවත් එම තරග අතරින් තරග 3ක් හොඳ සටනක් දීමෙන් පසුව පරාජය වීමද කැපී පෙණේ.

අසන්ත ද මෙල් තරගාවලිය පුරා තරග 6කදී කඩුලු 17ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර රොජර් බිනීට පමණක් දෙවැනි විය. එහෙත් වැඩිම කඩුලු ලාභියා වූ බිනී කඩුලු 18ක් දවාගෙන තිබුනේ තරග 8කට ක්‍රීඩාකරමිනි.

මාතෘකා