සුපිරි පළාත් එක්දින තරගාවලිය

 ඡායාරූපය:

සුපිරි පළාත් එක්දින තරගාවලිය

මහනුවර පළමු ජය වාර්තා කරයි

මෙවර සුපිරි පළාත් එක්දින තරගාවලියේ පළමු වටයේ පැවැති අවසන් තරගවලින් මහනුවර කණ්ඩායම දඹුල්ල කණ්ඩායම පරාජය කිමින් ජය වාර්තා කළ අතර කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

දඹුල්ල - මහනුවර

තරගාවලියේ තමන් ලැබූ එකම ජය වාර්ථා කිරීමට මහනුවර කණ්ඩායම ඊයේ (8) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සමත් විය.

ඒ දඹුල්ල කණ්ඩායම කඩුලු 3කින් පරාජය කරමිණි. මේ අනුව ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම තරගාවලියේ තමන් සහභාගී වූ තරග සියල්ලම පරාජයට පත් විය.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 199ක පහසු ඉලක්කයක් මහනුවර කණ්ඩායමට ලැබුණු අතර වේගවත් ආරම්භයක් ලබාගත් නායක දිමුත් කරුණාරත්න සහ සදීර සමරවික්‍රම අතර පළමු කඩුලුලේ සබඳතාවය ලකුණු 35කට සීමා විය. එහෙත් ලකුණු රැස් කිරීමේ වේගය මදකට හෝ අඩු නොකර පවත්වාගෙන යාමට කරුණාරත්න සහ සංගීත් කුරේ (33) සමත් වූහ. දෙවැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසු පිටියට පිවිසි පැතුම් නිස්සංකද පන්දු 47කින් නොදැවී ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. මහනුවර කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 74කින් ලකුණු 86ක් ලබා ගත් නායක දිමුත් කරුණාරත්නයි. අවසානයේ මහනුවර කණ්ඩායම පන්දුවාර 31.5කදී කඩුලු 3ක් දැවී තිබියදී සිය ජයග්‍රහණය සපුරා ගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 2ක් වන විට දැවී ගියේ නිරෝෂන් දික්වැල්ල ලකුණු 2කට සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු නොලබා දැවී යාමෙනි. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ නායක ඇන්ජලෝ මැතිව්ස් විසිනි. පන්දු 67කදී ලකුණු 47ක් වාර්ථා කිරීමට මැතිව්ස් සමත් විය. ඕෂද ප්‍රනාන්දු ලකුණු 44ක් වාර්ථා කළේ පන්දු 52කිණි. භානුක රාජපක්ෂ ලකුණු 27ක් රැස් කළ අතර අෂාන් ප්‍රියන්ජන ලකුණු 24ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය. මහනුවර කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා පන්දුවාර 7ක් යවා ලකුණු 25කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු සාරාංශය

දඹුල්ල (පන්දුවාර 44.5කදී සියලු දෙනා දැවී) 198

(ඇන්ජලෝ මැතිව්ස් 47, ඕෂද ප්‍රනාන්දු 44, භානුක රාජපක්ෂ 27, අෂාන් ප්‍රියන්ජන් 24, තිසර පෙරේරා 4/25, ජෙෆ්රි වැන්ඩසේ 2/40)

මහනුවර (පන්දුවාර 31.3කදී, කඩුලු 3ක් දැවී) 199

(දිමුත් කරුණාරත්න 86, පැතුම් නිස්සංක නොදැවී 51, සංගීත් කුරේ 33)

කොළඹ - ගාල්ල

පල්ලේකැළේ පැවැති තරගය වර්ෂාව නිසා තරගයනතරකරන විට ලකුණු 259ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොළඹ කණ්ඩායම පන්දුවාර 7.1කදී කිසිවෙකු නොදැවී ලකුණු 55ක් රැස්කර සිටියේය.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ගාල්ල කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 103කට බිඳ වැටී තිබියදී මිනෝද් භානුක (37) සහ වනිදු හසරංග (56) එක්ව හය වැනි කඩුල්ල සඳහා ලකුණු 67ක් එක් කිරීමට සමත් වූහ. නැවතත් ලකුණු 206කට කඩුලු 8ක් බිඳ වැටී තිබූ අවස්ථාවේදී ළහිරු මධුෂංක (නොදැවී 42) සහ දුෂ්මන්ත චමීර (23) ගේ පිතිහරඹය නිසා ගාල්ල කණ්ඩායමට ලකුණු 250 සීමාව ඉක්මවා යෑමට හැකි විය. කොළඹ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ අකිල ධනංජය ලකුණු 53කට කඩුලු 5ක් දවා ගනිමින් ගාල්ල කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවකට ගමන් කිරීම වැලැක්වීමට සමත් විය.

ලකුණු සාරාංශය

ගාල්ල (පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී) 258

(වනිදු හසරංග 56, ළහිරු මධුෂංක නොදැවි 42, මිනෝද් භානුක 37, ධනංජය ද සිල්වා 34, අකිල ධනංජය 5/53, චාමික කරුණාරත්න 2/48)

මාතෘකා