දකුණු අප්‍රිකානු ක්‍රිකට්වලට රිදවන KOLPAK

 ඡායාරූපය:

දකුණු අප්‍රිකානු ක්‍රිකට්වලට රිදවන KOLPAK

කෝල්පැක් ක්‍රීඩකයෙකු බවට පත් වීමට අවශ්‍ය නම් පළමුව එම ක්‍රීඩකයා තම රට ජාත්‍යන්තර වශයෙන් නියෝජනය කිරීමේ අදහස සිතින් ඉවත්කර ගත යුතුය. සරලව කිවහොත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් සමග කෝල්පැක් ගිවිසුමක් අත්සන් කළහොත් එම ගිවිසුම වලංගු කාල සීමාව තුළ ඔහුට දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ නොහැකි වෙයි. එංගලන්තයේ ප්‍රාන්ත තරග නොමැති අවස්ථාවකදී ඔහුට තම මව් රටේ පළමු පෙළ තරග සඳහා සහභාගි විය හැකියි. මින් කියවෙන්නේ සෑම විටම එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීම කෙරෙහි ක්‍රීඩකයා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි.

ඩුවෙන් ඔලිවියර් මෑත කාලයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වූ වේග පන්දු යවන්නාය. 2019 ලෝක කුසලානයෙන් පසු සුපිරි දකුණු අප්‍රිකානු වේග පන්දු බල ඇණියෙන් ඩේල් ස්ටේන් සහ වර්නන් ෆිලැන්ඩර් සමුගැනීමේ තීරණයකට පිවිසීමටද බොහෝ දුරට ඉඩ ඇත. එසේම එය ඔවුන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ අවසන් භාගය ලෙසද සැලකෙන බව නොරහසකි. ඔවුන් විශ්‍රාම යාමෙන් පසු එම ස්ථානයට පැමිණෙන රාබඩා, එන්ගිඩි වැනි ක්‍රීඩකයින් සමඟ ඔලිවියර් කටයුතු කරනු ඇති බවට විශ්වාසයක් දකුණු අප්‍රිකානු ක්‍රීඩා ලෝලීන්ට, පරිපාලනයට මෙන්ම නායකත්වයටද ඇතිවී තිබුණි. එම හේතුව නිසාම පාකිස්ථානය සමඟ පැවති තරගාවලිය මෙන්ම ශ්‍රී ලංකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය දී ද ඔලිවියර් හට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතර සහ ඔවුන්ගේ සාමාන්‍ය කණ්ඩායමක් තුළ ක්‍රීඩා කරනු ලබන වේග පන්දු යවන්නන් සිව් දෙනා අතරට පැමිණීමේ හැකියාව ලැබී තිබුණේය. නමුත් සාර්ථක තරගාවලි දෙකක් අවසානයේ පෙබරවාරි 26 වන දින ඔහු මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තමන්ගේ අන්තර්ජාතික ක්‍රිකට් දිවිය නිමා කරනු ලබන බවයි. මෙම නිවේදනයත් සමඟ දකුණු අප්‍රිකානු ක්‍රිකට් පරිපාලනය වික්‍ෂිප්ත වූ අතර ලොව පුරා සිටින දකුණු අප්‍රිකානුවන් පමණක් නොව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සහ ඔලිවියර්ගේ රසිකයින් විශාල පිරිසක් මෙම තීරණය සම්බන්දව තම අප්‍රසාදය පළ කළහ. ඔහුගේ මාධ්‍ය නිවේදනයට අනුව තමන්ගේ තීරණයට හේතුව ලෙස ඔහු සඳහන් කොට ඇත්තේ එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තය සමග වසර තුනක Kolpak ගිවිසුමකටඑළැඹීම නිසා මෙම තීරණය ගත් බවයි.

දකුණු අප්‍රිකාව වැනි රටක ක්‍රිකට් කණ්ඩායමක තමන්ගේ ස්ථානය පවා කැප කරමින් ඔලිවියර් විසින් අත්සන් කරනු ලැබූ ගිවිසුම පිළිබඳ අවධානය යොමු කළ යුතුය. Kolpak ගිවිසුම සම්බන්ධයෙන් තොරතුරු සෙවීමේදී අපට 1997 වර්ෂය වෙත යාමට සිදුවෙයි. මාරෝස් කොල්පැක් යනු ස්ලෝවේකියානු ජාතික හෑන්ඩ්බෝල් ක්‍රීඩකයෙකි. 1997 වසරේදී ඔහු ජර්මනියට ගොස් එරට දෙවන පෙළ හෑන්ඩ්බෝල් ක්‍රීඩා සමාජයකට සම්බන්ධ විය. එම සම්බන්ධ වීමත් සමග ඔහුට ජර්මන් හෑන්ඩ්බෝල් ලීගය ( German Handball League) තුළ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවිය. 2000 වසරේදී ජර්මානු හෑන්ඩ්බෝල් සම්මේලනය (German Handball Association) ජර්මන් හෑන්ඩ්බෝල් ලීගය තුළ ක්‍රීඩා කරන කණ්ඩායම් සඳහා නව නීතියක් ඉදිරිපත් කරනු ලැබිණි.

එම නීතියට අනුව ලීගය තුළ ක්‍රීඩා කරන කණ්ඩායමකට යුරෝපා සංගමයේ සාමාජිකත්වය නොදරන රටවල්වලින් ඇතුළත් කර ගත හැකි වන්නේ ක්‍රීඩකයින් දෙදෙනෙක් පමණි. එය බෙහෙවින්ම සමාන වන්නේ වර්තමානයේ IPL කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයින් සිවු දෙනෙක් පමණක් ඇතුළත් විය යුතුය බවට ඇති නීතියටය.

ජර්මන් හෑන්ඩ්බෝල් සම්මේලනය මෙම නව නීතිය ඉදිරිපත් කරන විට කොල්පැක් උපත ලැබූ ස්ලෝවේකියාව යුරෝපා සංගමයේ සමාජික රටක් නොවේ. මේ නිසා කොල්පැක් ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ කණ්ඩායම තුළ ඔහුට තවදුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාව අහිමි විය. කොල්පැක් විසින් මෙම තීරණය ජර්මානු අධිකරණයක් තුළ පළමුව අභියෝගයට ලක් කරනු ලැබුවේය. ජර්මානු අධිකරණය මෙය යුරෝපා සංගමයේ අධිකරණය වෙත යොමු කරනු ලැබිණි. ( European Court of Justice ) 2003 වසරේදී කොල්පැක්හට වාසිදායක ලෙස නඩුවේ තීන්දුව හිමිවිණි. එම තීන්දුව සරලව පහත පරිදි වේ.

"ස්ලෝවේකියාව යුරෝපා සංගමයේ සාමාජිකයෙක් නොවුණත් ඔවුන් යුරෝපා සංගමයත් සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන්කොට තිබෙනවා. එවැනි රටවල ක්‍රීඩකයින්ටත් යුරෝපා සංගමයට අයත් රටවල ක්‍රීඩකයින් භුක්ති විඳින වරප්‍රසාද හිමි විය යුතුයි "

මෙම නඩුතීන්දුවට අනුව කොල්පැක් ගේ මාතෘ භුමිය වන ස්ලෝවේකියාව යුරෝපා සංගමය සමග නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කර තිබීම නිසා, යුරෝපා සංගමයට අයත් රටක ක්‍රීඩකයෙකු ලෙස ජර්මන් හෑන්ඩ්බෝල් ලීගය තුළ ක්‍රීඩා කිරීමට කොල්පැක්හට අවස්ථාව උදාවිය.

මෙම නඩු තීන්දුව ක්‍රිකට් ක්‍රීඩාව සඳහා බලපෑම් කිරීමත් එතැනින්ම ආරම්භ විණි. දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, කොදෙව් දූපත් ලෝකයේ අප්‍රිකානු, කැරිබියානු සහ පැසිපික් රටවල් කාණ්ඩයට අයත් වෙයි ( ACP). මෙම රටවල් කාණ්ඩය වසර 2000 දී යුරෝපා සංගමයට අයත් රටවල් පහළොවක් සමග Cotnou Agreement නම් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කොටතිබිණි. 2003 වසරේ නඩු තීන්දුවත් සමග මෙම රටවලක්‍රීඩකයින්ට යුරෝපා සංගමයේ සාමාජික රටක් වන එංගලන්තය තුළ විදේශීය ක්‍රීඩකයෙකු බවට පත් නොවී ක්‍රීඩා කිරීමේ අවස්ථාව කෝල්පැක් ගිවිසුමක් අත්සන් කිරීම හරහා ලැබිණි.

නමුත් කෝල්පැක් ක්‍රීඩකයෙකු බවට පත් වීමට අවශ්‍ය නම් පළමුව එම ක්‍රීඩකයා තම රට ජාත්‍යන්තර වශයෙන් නියෝජනය කිරීමේ අදහස සිතින් ඉවත්කර ගත යුතුය. සරලව කිවහොත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් සමග කෝල්පැක් ගිවිසුමක් අත්සන් කළහොත් එම ගිවිසුම වලංගු කාල සීමාව තුළ ඔහුට දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ නොහැකි වෙයි. එංගලන්තයේ ප්‍රාන්ත තරග නොමැති අවස්ථාවකදී ඔහුට තම මව් රටේ පළමු පෙළ තරග සඳහා සහභාගි විය හැකියි. මින් කියවෙන්නේ සෑම විටම එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කිරීම කෙරෙහි ක්‍රීඩකයා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බවයි. කෝල්පැක් ගිවිසුම අවසන් වූ පසු ක්‍රීඩකයාට නැවත තම රට නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ හැකිය. වයස අවුරුදු දහ අටට වැඩි කෝල්පැක් ක්‍රීඩකයෙකු වසර හතක් ප්‍රාන්ත තරග වලට සහභාගී වීමෙන් අනතුරුව එංගලන්ත ජාතික කණ්ඩායමට ඇතුළත් වීම සඳහා සුදුසුකම් ලබයි. මෙම කාල සීමාව පෙරපැවතියේ වසර හතරක් ලෙසයි.

ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කෝල්පැක් ගිවිසුම මේ ආකාරයට බල පැවැත්වෙන අතර දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් කෝල්පැක් ක්‍රීඩකයින් බවට පත් වීමට හේතු කීපයක් බලපානු ලබයි.

* දකුණු අප්‍රිකාව තුළ පළමු පෙළ තරග ක්‍රීඩා කිරීමෙන් ලබන ආදායමට වඩා තුන්ගුණයක් එංගලන්තයේ ප්‍රාන්ත තරග ක්‍රීඩා කිරීම තුළින් ඔහුට උපයා ගැනීමට හැකියි. කෝල්පැක් ගිවිසුම අත්සන් කරනු ලැබූ ක්‍රීඩකයින්ගේ අදහස් අනුව මෙය ප්‍රධාන හේතුවක් ලෙස හඳුනා ගත හැකිය.

* දකුණු අප්‍රිකාව තුළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තේරීමේදී කෝටා ක්‍රමයක් ක්‍රියාත්මකය. මේ නිසා ජාතික කණ්ඩායම තුළ වැඩි අවස්ථාවක් තමාට ලැබෙයිද යන සැකය එරට සුදු ජාතික ක්‍රීඩකයින් තුළ දැකිය හැක. මෙම තත්ත්වය වැඩි වශයෙන් වේග පන්දු යවන්නට බලපානු ලබන්නේ දකුණු අප්‍රිකානු ප්‍රාන්ත මට්ටමෙන් දක්ෂ වේග පන්දු යවන්නන් රැසක් බිහිවීම හේතුවෙනි.

* දකුණු අප්‍රිකාව වෙනුවෙන් කොපමණ කලක් ක්‍රීඩා කළත් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පසු ක්‍රීඩකයින් නිසි ලෙස බලාගැනීමක් එරට ක්‍රිකට් බලධාරීන් සිදු නොකරන බවට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් අතර තිබෙන විශ්වාසයත් මේ සඳහා බලපා තිබේ.

* තවද අනාගතයේදී එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමඟ කෝල්පැක් ක්‍රමය දිගටම පවත්වාගෙනයාමට හැකි වේද යන සැකය නිසා මේ දිනවල කෝල්පැක් ගිවිසුම් අත්සන් කිරීම වැඩිවශයෙන් සිදුවෙන බව දකින්නට පුළුවන්. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ සිට මෙම කෝල්පැක් ගිවිසුම අත්සන් කරනු ලැබූ පිතිකරුවන් ලෙස වත්මන් නායක ෆෑෆ් ඩු ප්ලේසිස්, නීල් මැකෙන්සි, ඇල්විරො පීටර්සන්, කොලින් ඉන්ග්‍රම්, ඇශ්වෙල් ප්‍රින්ස්, රයිලි රුසොව් ද පන්දු යවන්නන් අතර රයන් මැක්ලරෙන්, ඇන්ද්‍ර නෙල්, ජස්ටින් කෙම්ප්, පෝල් හැරිස්, කයිල් ඇබොට්, සයිමන් හාරම්ර් ද වෙති. කොදෙව් ක්‍රීඩක ඩ්වෙන් ස්මිත්ද මේ අතර සිටින දක්ෂ ක්‍රීඩකයෙකි.

[ශාෂිංක විදුසර හපුආරච්චි]

මාතෘකා