මන්කාඩින් දවා ගැනීම ලොවට හඳුන්වාදුන් විනෝ මන්කාඩ්

 ඡායාරූපය:

මන්කාඩින් දවා ගැනීම ලොවට හඳුන්වාදුන් විනෝ මන්කාඩ්

මෙවර IPL තරගාවලියේ පැවැති සිව්වැනි තරගයේදී මහත්වරුන්ගේ ක්‍රීඩාවට මෙන්ම මහත්වරුන්ට නොගැලපෙන දෙයක් කළ බවට රවිචන්ද්‍රන් අශ්වින් චෝදනා ලැබුවේය. එය ක්‍රිකට් පිටියේ සිදු නොවිය යුතු දෙයක් බවටද බොහො මහත්වරුන්ගේ අදහස විණි. එම තරගයේදී අශ්වින් සිදු කළේ තමන් පන්දු යැවිමට පෙර සෑහෙන දුරක් ඇවිදගෙන පන්දු යවන්නාගේ සීමා ඉරෙන් ඉදිරියට ගිය ජොස් බට්ලර්ගේ කඩුල්ල බිඳ දැමීමයි. එහිදී බට්ලර් දැවී ගියේය. ක්‍රිකට් නීති පොතට අනුව බට්ලර්ගේ දැවී යාම නිවැරදිය. එහෙත් ලොව පුරා ක්‍රිකට් වචාරකයෝ මෙන්ම හිටපු ක්‍රීඩකයෝද කියූවේ අශ්වින් ක්‍රීඩාශීලීත්වයට නොගැලපෙන ක්‍රියාවක් සිදු කළ බවය. ඉතා සුළු පිරිසක් පමණක් අශ්වින්ගේ ක්‍රියාව සාධාරනීකරණය කිරීමට ඉදිරිපත් වූහ. ඒ පිළිබඳ පැවැති පශ්චාත් සංවාදය සම්බන්ධයෙන් විවිධ මතවාද නිර්මාණය විණි. මේ ඒ පිළිබඳය.

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බව තවමත් විශ්වාස කරන බොහෝ දෙනෙක් සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අශ්වින්ව දඬු කඳේ ගැසීමට සූදානමිනි. අශ්වින් තරගවදින කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමේ පුහුණුකරුද එම ස්ථාවරයේ සිටී. මේ ආකාරයට පන්දු යවන්නාගේ අන්තයේ සිටි පිතිකරුවෙක් පන්දු යවන්නා විසින් පන්දුව යැවීමට පෙර කඩුල්ල බිඳ දමා දවා ගත් පළමු අවස්ථාව මෙය නොවේ. නමුත් එවැනි අවස්ථා ඇත්තේ කිහිපයක් පමණි.

පන්දු යවන්නෙක් පිතිකරුවෙක් දවා ගන්නේ පන්දු යවා හෝ පන්දු යවමින් උඩ පන්දුවක් රැක ගැනීමෙන් හෝ දුවද්දී දැවී යාමකි. පන්දු යවන්නා පන්දු යැවීමට පැමිණ පන්දුව නොයවා කඩුල්ල බිඳ දමා පිතිකරුවා දවා ගැනීම හඳුන්වන්නේ මන්කාඩින් දවා ගැනීමක් ලෙසය. මෙම දවාගැනීම මන්කාඩින් ලෙස නම් වූයේ කෙසේද? එයට ද මුල් වුණේ අශ්වින් මෙන්ම තවත් ඉන්දියානුවෙකි. ඔහු නමින් විනෝ මන්කාඩ්ය. විනෝ මන්කාඩ් ඉන්දියාවේ සිටි අති දක්ෂ ආරම්භක පිතිකරුවෙකි. ඒ වගේම මන්කාඩ්ට පන්දු යැවීමේ හැකියාවද තිබුණි.

1947 දෙසැම්බර් 13 වැනිදා සිඩ්නි හි දී සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 188කට පළමු ඉනිමේ දැවී ගිය අතර ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටි අවස්ථාවේ පන්දු යවමින් සිටියේ වමතින් ழ்දඟ පන්දු යවන විනෝ මන්කාඩ්ය. පන්දු යවන්නාගේ පැත්තේ කඩුල්ලේ රැඳී සිටි පිතිකරු බිල් බ්‍රවුන්ය. මන්කාඩ් දිවවිත් පන්දු යැවීම සඳහා සූදානම් වන විටම බ්‍රවුන් ඉක්මනින් ඉදිරියට යෑමට පටන් ගත් අතර පන්දු යැවීම නැවැත්වූ මන්කාඩ් තමන් අසල තිබූ කඩුල්ල කඩා දැම්මේය. මන්කාඩ් ඉල්ලීමක් කළ අතර බ්‍රවුන් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස සංඥා කළේය.

මෙවර අශ්වින්ට මෙන්ම එදා විනෝ මන්කාඩ්ට එරෙහිවද අවි අමෝරාගෙන සටන් වැදීමට බොහෝ ක්‍රිකට් විචාරකයන් සහ ක්‍රීඩකයන් ඉදිරිපත් විය. එහෙත් සුවිශේෂම සිදුවීම වූයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ නායකයාව සිටි කීර්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්වූ ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මන්කාඩ්ගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමයි.

බ්‍රවුන් එසේ දැවී ගියේ දෙවැනි වතාවටය ඊට දින කිහිපයකට පෙර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩල කණ්ඩායම සමග පැවැති තරගයේදීද මේ ආකාරයටම මන්කාඩ් විසින්ම බිල් බ්‍රවුන්ව දවාගෙන තිබුණි. එකම තරග සංචාරයකදී එකම පිතිකරුවෙක්ව එකම පන්දු යවන්නෙක් දෙවරක් මේ ආකාරයට දවා ගැනීම මෙහිදී සටහන් විණි. ක්‍රිකට් ක්‍රීඩාවේ සාම්ප්‍රදායන් කඩකරමින් කළ දවා ගැනීම් දෙකක් ලෙසද හැඳින් විය හැක. පළමුව එම දවා ගැනීම් සිදුකළ විනෝ මන්කාඩ්ගේ නමින්ම එම දවා ගැනීම් නම් කිරීමට ක්‍රිකට් විචාරකයින් කටයුතු කළේය. මන්කාඩින් දවා ගැනීම යනු එයයි.

මන්කාඩින් දවා ගැනීමේ පුරෝගාමියාවූ විනෝ මන්කාඩ්ද ක්‍රිකට් පිටියේ හොඳ මහත්මයෙක් මෙන්ම ලෝක වාර්තා තැබු ක්‍රීඩකයෙකි. මන්කාඩ්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවිය වසර 1946 සිට 1959 දක්වා වසර 13ක දීර්ග කාලයකි. පළමු පෙළ ක්‍රිකට් දිවිය 1935 සිට 1963 දක්වා වසර 28ක කාලයකි. පළමු පෙළ ක්‍රීඩාවෙන් සමුගනිද්දී මන්කාඩ්ට වයස අවුරුදු 46ක් විණි.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා