ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු ජයග්‍රහණය

 ඡායාරූපය:

ලෝක කුසලාන තරගාවලියක ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු ජයග්‍රහණය

දෙවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය පැවැත්වුණේ නවසීලන්තයට එරෙහිවය. තරගය ජුනි 09 වැනිදා නොටිංහැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව පළමුව ලකුණු රැස් කිරීමට පිටියට පැමිණි අතර පන්දුවාර 56.5කදී ලකුණු 189කට ශ්‍රී ලංකා ඉනිම සීමා විය. නායක අනුර තෙන්නකෝන් ලකුණු 59ක් රැස්කළේ පන්දු 96ක් තුලදීය. නවසීලන්ත පිතිකරුවෝ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 190 ලබා ගත්තේ පන්දුවාර 47.4ක් තුළය. ග්ලේන් ටර්නර් ලකුණු 83ක් සහ ජෙෆ් හොවාර්ත් ලකුණු 63ක් නොදැවී රැස් කළ නිසා කඩුලු 9ක් ජයක් ඔවුන්ට හිමි විය.

දෙවැනි තරගය පැවැත්වීමට නියමිත වූයේ ජුනි 13 වැනිදා ලෝක ශූර කොදෙව්වන් සමග ලන්ඩන්හි ඕවල් ක්‍රීඩාංගණයේ දීය. තරගය සඳහා ආබාධයකට ලක්ව සිටි නායක අනුර තෙන්නකෝන් වෙනුවට එදින නායකත්වය දැරීමට සූදානමින් සිටියේ බන්දුල වර්ණපුරයි. මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ වෙතත් කොදෙව්වන් සිටියේ විශාල කැමැත්තකිනි. ඒ ඔවුන්ට මෙම තරගය පහසුවෙන්ම ජයගැනීමට හැකියැයි විශ්වාස කළ බැවිනි. එහෙත් තරගය ආරම්භ කිරීමට පෙරදා රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ සංතෝෂයටත් කොදෙව්වන්ගේ කේන්තියටත් හේතු වෙමින් වර්ෂාව ඇද හැලෙන්නට විය. අවසානයේ එකදු පන්දුවක් හෝ නොයවා තරගය ජය පරාජයකින් තොරව අවසන්වූ තරගයක් ලෙස වාර්තා විය.

ශ්‍රී ලංකාව තරගාවලියේ මුහුණ දුන් අවසන් තරගය වූයේ ඉන්දියාව සමග තරගයයි. ජුනි 18 වැනිදා මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ තරගය පැවැත්විණි. කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ශ්‍රී නිවාස් වෙන්කටරාඝවන් පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පිරිනැමීය. ආරම්භක පිතිකරුවන් වූයේ සුනිල් වෙත්තමුණි සහ මෙම තරගයේ නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුරයි. වර්ණපුර පන්දු 51කින් ලකුණු 18ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 31දීය. දෙවැනි කඩුල්ලට ලකුණු 96ක් එක්කිරීමට රෝයි ඩයස්ට සහාය දුන් වෙත්තමුණි දැවී ගියේ ලකුණු 67කටය. වෙත්තමුණි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා විණි.

ඩයස්ගේ ලකුණු 50 පන්දු 88කින් වාර්තා වුණේය. එම දිනවල නිතර දකින්නට නොලැබෙන වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දුලිප් මෙන්ඩිස් පන්දු 57කින් ලකුණු 64ක් ලබාගෙන සිටියදී දුවද්දී දැවී යාමකට හසු විය. පන්දුවාර 60 දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී 238 දක්වා ඉහළ දැමීමට පාසල් ක්‍රීඩකයෙකුව සිටියදී මෙම සංචාරයට එක්වූ සුදත් පැස්කුවල් සමත් විය. පැස්කුවල් පන්දු 26කින් ලකුණු 23ක් ශ්‍රී ලංකා ඉනිමට එක් කළේය.

සුනිල් ගවස්කාර්, අන්ෂුමාන් ගයික්වාඩ්, දිලිප් වෙන්ග්සාකර්, ගුන්දප්පා විශ්වනාත්, බ්‍රිජේෂ් පටෙල් සහ කපිල් දේව් වැනි ප්‍රබල පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය පිලට මෙම ලකුණු සංඛ්‍යාව අසීරු ඉලක්කයක් නොවන බව පැහැදිලිව දිස්විණි. ගවස්කාර් සහ ගයික්වාඩ් පළමු කඩුල්ලට ලකුණු 60ක් එක් කළහ. ගවෙස්කාර ලකුණු 26කට දැවී ගියේ වර්ණපුරගේ පන්දුවකට ඩයස් අතට උඩපන්දුවක් දීමෙනි. ගේක්වාඩ් ලකුණු 33කට දැවී ගියේ ඩී.එස්. ද සිල්වාගේ පන්දුවක් හමුවේය. එම දැවීයාම සිදුවූයේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස පන්දු රැකීමට පිටියට පැමිණ සිටි අජිත් ද සිල්වා රැකගත් උඩපන්දුවකිනි. කඩුලු 2ක් දැවී ලකුණු 119ක් ලබා සිටි ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ගුන්දප්පා විශ්වනාත් ලකුණු 22කට දුවද්දී දැවී යාමට හසු විය. ඩී.එස්. ද සිල්වාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලලේ වැදීම නිසා පටෙල් ලකුණු 10කට දැවී ගියේය. ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියාවූ දිල්ප් වෙන්ග්සාකර් දැවී ගියේ ඩී.එස්. ද සිල්වාගේ පන්දුවකට ඩී.එල්.එස්. ද සිල්වා අතට උඩපන්දුවක් ලබා දීමෙනි. එවිට ඉන්දීය ඉනිම ලකුණු 147ට කඩුලු 5ක් ලෙස දැක්විණි.

ඩී.එල්.එස්. ගේ පන්දුවකට වර්ණපුර අතට උඩපන්දුවක් ලබා දීමෙන් කපිල් දේව් ලකුණු 16කටද, ඩී.එස්. ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් මොහින්දර් අමරනාත් ලකුණු 07කටද දැවී ගියේ ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රාහී බලාපොරොත්තු ඇතිකරවමිනි. ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නා වූ ටෝනි ඕපාත අවසන් ඉන්දීය කඩුලු 3 වූ කර්සාන් ගව්රි (03), සුරින්දර් කන්නා (10) සහ බිෂන් සිං බේඩි (05) දවා ගැනීමට සමත් විය. ලකුණු 191දී අවසන් ඉන්දීය පිතිකරු දැවී යාමත් සමගම ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. එසේම ටෙස්ට් වරම් නොමැති රටක් ලෝක කුසලාන තරගයක වාර්තා කළ පළමු ජයද එය විය.

පන්දු 57කින් ලකුණු 64ක් රැස් කළ දුලිප් මෙන්ඩිස් තරගයේ වීරයා බවට පත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව බී කාණ්ඩයේ තුන්වැනි තැනට පත්වන විට ඉන්දීය කණ්ඩායම සිව්වෙනි ස්ථානයට පත් විය.

මාතෘකා