ආසියානු දැල්පන්දු අභිමානයේ රහස ගැන කෙටි කතාවක්

 ඡායාරූපය:

ආසියානු දැල්පන්දු අභිමානයේ රහස ගැන කෙටි කතාවක්

ආසියානු දැල්පන්දු තරගාවලිය සිංගප්පූරුවේ දී ශ්‍රී ලංකාව සතු කරගත්තේ පසුගිය 9 වැනිදාය. එය සිදුවී සති එකහමාරකට ආසන්න කාලයක් ගතවී තිබුණද එකී ජයග්‍රහණය යටපත්වන්නට යටපත්වන්නට නැවත නැවත මතකයට නැගෙන්නකි. සුවඳ පතුරුවන අත්දැකීමකි. එය එසේ වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා ක්‍රීඩා හැකියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් අර්බුදකාරී සලකුණු මතුවූ කාල සීමාවක් පසුගිය කාලය තුළ උදාවූ හෙයිනි. පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ පදක්කම් කීපයක් දිනාගත් ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළෙලේදී සිදුවූයේ හිස් අතින් එන්නටය. කිසිදු ඉසව්වකින් පදක්කම් දිනා නොගත් අතර රුපියල් කෝටි පහමාරක් වැය කරමින් සිදුකළ චාරිකාව නිසි ප්‍රතිඵල නොමැති වූ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන්නට විණි.

එහෙත් ඇතැම් ක්‍රීඩාවන්ගෙන් සාධනීය දක්ෂතා ප්‍රකට වූ බව පිළිගැනීමට සිදුවන නමුත් ඒවා පවත්වාගෙන යාම ක්‍රීඩා සංගම්, ක්‍රීඩා අමාත්‍යංශය ලෙස නොව පෞද්ගලික මට්ටමෙන්, පෞද්ගලික උනන්දුවෙන් සිදුවන්නක් වීම රටක් වශයෙන් වඩාත් කනගාටුදායකය. වෙසෙසින් පිහිනුම් ක්‍රීඩාවෙන් අවසන් වටය දක්වා පැමිණීමට සමත් වුවද එය පවත්වාගෙන යනුයේ පෞද්ගලිකව වීම නොරහසකි. රගර් ක්‍රීඩාවෙන් පදක්කමක් ආසන්නයට පැමිණියද රගර් ගසන්නේ රගර් සංගමය සතුව ක්‍රීඩාංගණයක් පවා නොමැතිවය. කෙළින්ම කියනවා නම් රටේ රගර් ක්‍රීඩාංගණ කුලියට ගෙන සිදුකරන්නකි. බලධාරීන්ගේ දෙනෙත් තවමත් ඒ සම්බන්ධයෙන් විවෘතවී නැත.

මේ අතර ආසියානු දැල්පන්දු තරගාවලියෙන් අනතුරුව පැවැති ආසියානු ශූරතා ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් උරුමවිය. එහි ඇති සුවිශේෂත්වය වනුයේ ලෝක කුසලානය ඇස් මානයේ තබාගෙන ලැබූ පරාජයක්වීමය. එය තවත් කනගාටුදායක එකක් වනුයේ බංග්ලාදේශය ඉදිරියේ පරාජය වූවා මදිවාට පළමු වරට ඇෆ්ගනිස්ථානයටද පරාජයවී මූලික වටයෙන්ම ගෙදර පැමිණීමට පාර කපා ගැනීමය. එවැනි පසුබිමකත් ආසියානු දැල්පන්දු විජයග්‍රහණය සති එකහමාරක් ගතවුවද යටපත් කළ නොහැකි සඳුන් සුවඳැති මතකයක් වී තිබේ. සඳුන් තුරු කපන්නට කපන්නට සුවඳවත් වන්නේ යම්සේද දැල්පන්දු විජයග්‍රහණ කාලයේ වැලිතලාවෙන් වැසී යන්නට වැසී යන්නට සිහිපත් වන්නේ එලෙසිනි.

ඊයේ දිනයේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ජයග්‍රාහී දැල්පන්දු කණ්ඩායමට දිවා ආහාර වේලක් ලබාදීමට ආරාධනා කර තිබුණේ ජාතික ඔලිම්පික් කමිටුවය. කෙසේ වෙතත් ඒ වනතුරුත් වාචික සුබපැතුම් හැර වෙනත් කිසිදු මූල්‍ය ප්‍රදානයක්, දිරිගැන්වීමක් දැල්පන්දු ක්‍රීඩිකාවන් වෙත ලබාදීමට බලධාරීන් උත්සුක වී නොතිබිණි. ඊයේ දහවල් පැවැති ආරාධිත දිවා භෝජනයේදී ඇතැම් විට යම් කිසි ඇගයීමක් සිදුකරන බව පැවසුවද එය නිල වශයෙන් කොපමණද යන්න ඒ වනතුරුත් ප්‍රකාශයට පත්ව නොතිබිණි.

ජයග්‍රහණය සම්බන්ධයෙන් ජාතික දැල්පන්දු පුහුණුකාරිණිය අදහස් දක්වමින් පවසා සිටියේ එය සම්පූර්ණයෙන්ම විනය, පුද්ගල අභිප්‍රේරණය වැනි කරුණු මත ලබාගත් ජයග්‍රහණයක් බවය. විනය කණ්ඩායම තුළ ඇතිකිරීමේදී නව පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනෙවිය දැඩි කැපකිරීමක් සිදුකර තිබූ බව නොරහසකි. එය මනාව පිළිගැනීමට දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවෝද කටයුතු කර තිබුණහ. ඊට අමතරව සමස්ත තරගාවලිය පුරා මෙන්ම සංචාරය නික්ම යාමට පෙර කණ්ඩායමේ අභිප්‍රේරණ කටයුතු සිදුකර තිබුණේ බර ඉසිලීමේ සංගමයේ සභාපති හා පුද්ගල අභිප්‍රේරකයකු වශයෙන් කීර්තිමත් දේශකයකු වන නාලක හේවාමද්දුම මහතාය. ඔහු තරගාවලිය පුරාත් අන්තර් ජාලය ඔස්සේ ක්‍රීඩිකාවන් අභිප්‍රේරණය කිරීමට කාලය යොදාගත් බව කණ්ඩායමට නොරහසකි.

අමාත්‍යංශයේ හා අමාත්‍යවරයාගේ අභිප්‍රේරණය

දැන් අවශ්‍ය වන්නේ ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුනට සිදුකළ යුතු අභිප්‍රේරණය මූල්‍යමය වශයෙන් සිදුකිරීමට ක්‍රීඩා බලධාරීන් කටයුතු කිරීමය. ඒ සඳහා දැන් කාලය උදාවී ඇති අතර කණ්ඩායම තුළද අපේක්ෂාවක් ජනිතවී ඇත. මහා පරාජයකින් අනතුරුව ලැබූ විජයග්‍රහණයක් වීම එකී අභිප්‍රේරණය තවදුරටත් ඉහළ නංවනු ඇත. එකී ජයග්‍රහණයෙන් අනතුරුවත් ලැබූයේ මහා පරාජයක් හේතුවෙන් එම ජයග්‍රහණය අමතක කළ නොහැක්කකි.

මේ අදාළ ජයග්‍රහණය සම්බන්ධයෙන් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් කීපදෙනෙකු දැක්වූ අදහස්ය. මෙම ලියුම්කරු සිංගප්පූරුවේ සංචාරය අතරතුර ඔවුන් එකී අදහස් දැක්වූ බවද පැවසිය යුතුය.

කැපකිරීම්වල ප්‍රතිඵලයක් - චතුරංගි ජයසූරිය (නායිකා)

අපි මේ ජයග්‍රහණය හිමිකරගන්න ගොඩක් කැප කිරීම් කළා. ඒ වෙනුවෙන් මමත් මගේ කණ්ඩායමත් වගේම අපේ පුහුණුකාරිණිය ඇතුළු කණ්ඩායමේ කාර්‍යමණ්ඩලයත් වෙහෙසුණා. මුල ඉඳලම නායිකාව වශයෙන් මට මගේ කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා මේ පාර අපි සිංගප්පූරුවට ආවේ කොහොමහරි කුසලානය අරගෙන යන්නමයි. ඒක අපරාජිතව කරන්න හැකිවීමත් සතුටක්. පළමු තරගයේ ඉඳළම එකාවන්ව කණ්ඩායම් හැගීමෙන් කටයුතු කළා. කණ්ඩායමක් විධිහට පුහුණුවීම් කළා. අපේ රට ගැන හිතලා ක්‍රීඩා කළා. ජයග්‍රහනයේ රහස එයයි. මේ ජයග්‍රහණය වෙනුවෙන් අපි ගොඩාක් වෙහෙසුණා.

එදා බැරිවුණදේ වසර නවයකට පසු

අපි සිංගප්පූරුවේදී කළා - තර්ජිනී සිවලිංගම්

2012 වසරේදී ආසියානු දැල්පන්දු තරගාවලිය තිබුණේ ශ්‍රී ලංකාවේ. ඒ කියන්නෙ මගේ මව්බිමේදී තිබ්බ තරගාවලිය දිනාගන්න අපිට නොහැකි වුණා. අපි එදා පැරදුනෙත් සිංගප්පූරුවටයි. අපි හුඟාක් කනගාටු වුණු පරාජයක් ඒක. එදා අපිට මව්බිමේදී කරන්න බැරි වුණු දේ අපි සිංගප්පූරුවට ඇවිත් ඔවුන්ව දෙවරක් පරාජය කරලා ශූරතාව දිනුවා. පසුගිය වසරේ ශූරියන් වුණු මැලේසියාවත් පරාජය කරලා ඔවුන්ව තෙවැනි තැනට ඇද දැම්මා. ඒ හැමදෙයක්ම කළේ කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩාකළ නිසයි. මාව යළි කණ්ඩායමට රැගෙන ආවේ මගේ පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනෙවියයි. ඇය නිසා රට වෙනුවෙන් මම යළි කණ්ඩායමත් එක්ක එකතුවුණා. මට ඒ ජයග්‍රහණය ගැන සතුටුයි.

වැඩි ගෞරවය පුහුනුකාරිණියටයි - දුලංගි වන්නිතිලක

ඇත්තටම අපි මේ ජය ලැබුවේ කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීමෙන්. සහයෝගීව ක්‍රීඩා කිරීමෙන්. එකමුතුව ක්‍රීඩා කිරීමෙන්. මේක හුඟාක් වෙහෙස මහන්සි වෙලා ගත්තු ජයක්. මෙම ජයග්‍රහණයේ වැඩි ගෞරව අපේ පුහුණුකාරිනිය වන තිලකා ජිනදාස මෙනවියට හිමිවිය යුතුයි. අපි ක්‍රීඩා කළාට ඇය තමයි මාස 07 ක් තිස්සේ සැලසුම් හදලා අපිව පුහුණු කරලා, උපක්‍රම උගන්වලා අපිව ජයග්‍රාහී රිද්මයට ගෙනාවේ.

ජයග්‍රහණයට දිරිගැන්වීමත් වැදගත් වුණා -ගයනි දිසානායක

ඇත්ත වශයෙන්ම මේ ජයග්‍රහණයට අපේ දක්ෂ ක්‍රීඩා රටාව වගේම ප්‍රේක්ෂකයන්ගේ දිරිගැන්වීමත් ඉවහල් වුණා. අවසන් තරගයේදී සිංගප්පූරුවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෝ ඇවිත් අපිව දිරිගැන්වීම හරිම වැදගත්. සිංගප්පූරුවේ සත්කාරකයන් වෙනුවෙන් ප්‍රීතිඝෝෂා කරන ප්‍රේක්ෂකාගාරයකට කදිම ප්‍රතිඋත්තරයක් ඒ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණා. එය අපිට තවත් ශක්තියක් වුණා. අපි කණ්ඩායමක් වශයෙන් ඔවුන්ටත් ස්තුතිවන්ත වෙනවා.

මාතෘකා