පිතිකරුවන්ට සුදුසු තණතීරුවක් - රාමට් ෂා

 ඡායාරූපය:

පිතිකරුවන්ට සුදුසු තණතීරුවක් - රාමට් ෂා

ශ්‍රී ලංකාව සමඟ පැවැති තරගය ජයගැනීම සඳහා පිත්තෙන් ලකුණු 72ක් රැස්කරමින් දායක වීමට හැකිවීම සතුටට කරුණක් බව ඇෆගනිස්ථාන පිතිකරු රාමට් ෂා පවසයි. තරගයෙන් අනතුරුව තරගයේ වීරයා වශයෙන් සම්මාන ලබමින් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

‘නායකයා වගේම පුහුණුකරුවා මට කෙළින් පහර දෙන්න කියන කාරණය කිව්වා. මේ තරගය අපිට හරිම වැදගත්. මම තරගයේ වීරයා සම්මානයට ලක්වීම සම්බන්ධයෙන් තවත් සතුටුයි‘ යැයි පවසා ඇත.

අපි හොඳින් ක්‍රීඩා කළා - අස්ගාර් ඇෆ්ගන් (නායක)

ශ්‍රී ලංකාව සමග තරගය අතිශය වැදගත් එකක් වුණා. ඔවුන්ගේ පළමු තරගය පරාජය වෙලයි ක්‍රීඩා කළේ. ඇත්තෙන්ම අපේ පිතිකරුවන්ට තමයි වැඩි ගෞවරව හිමිවිය යුත්තේ. සෑම පිතිකරුවකුටම සැලසුමක් තිබුණා. දිගු සබඳතා පැවැත්වීම පිළිබඳ අපි කතාකළා. එය මේ තරගයේදීත් අපිට වැදගත් වුණා. අපේ පන්දු රකින්නන්ටත් ගෞරවය හිමිවිය යුතුයි. තරගය දිනන්න අපට සැමවිටම උවමනා වුණා. අපේ දක්ෂතාවයන්, හැකියාවන් පෙන්වන්නයි අපිට අවශ්‍ය වුණේ. ඔබට ක්‍රිකට් තරග දිනන්න අවශ්‍ය නම් සිදුකළ යුත්තේ ධනාත්මකව ක්‍රීඩා කිරීමයි.

අපිට දෙන්න උත්තරයක් නැහැ - ඇන්ජලෝ මැතිව්ස් (නායක)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී අපි දක්වපු දක්ෂතා ගැන අප ඉන්නේ කම්පිතවයි. අපිට ලකුණු 150ක් රැස්කරන එකත් ගැටලුවක් වුණා. කොහොම වුණත් මම කැමතියි ඇෆ්ගනිස්ථාන ජයග්‍රහණයට සුබ පතන්න. ඔවුන් අද දිනයේදී අංශ තුනෙන්ම දක්ෂතා දැක්වූවා. අපේ පිතිකරණ දෙපාර්තමේන්තුව තරග දෙකේදීම අසාර්ථක වුණා. ලකුණු 250ක් හඹායාමේදී අපි අසාර්ථකයි. අපේ පන්දුයැවීමේ බල ඇණිය හරියට ඔවුන්ගේ යුතුකම් කළා කියලා මම හිතනවා. අපි පළමු කඩුල්ලම වැරදි ආරම්භයක් වශයෙනුයි ලබාගත්තේ. අන්තිමට දෙවැනි කඩුල්ලේ සිට යම් ආකාරයකින් එය පිළිසකර කරගන්න අපි කටයුතු කළත් එය ඉදිරියට ගෙනයන්න අසමත් වුණා. ඇත්තටම තරගයේ මැද භාගයේදී අපේ ඉනිම බිඳ වැටුණා. ඒ ගැන දෙන්න පිළිතුරක් මගේ ළඟ නැහැ.

ඇෆ්ගනිස්ථාන තරගයේදී පන්දුරැකීමේ අංශයේදී අපේ කිසියම් ප්‍රගතියක් දක්නට ලැබුණා. ඒත් පරාජයට හේතුව පිතිකරණ අංශයේ දුර්වලතාවයි. අපි දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳින් ක්‍රීඩා කරලා මේ ආකාරයෙන් අසාර්ථකවීම කනගාටුයි. අපි එකම වැරැද්ද නැවත නැවත කළා. පීඩනය පාලනය කරන්න අසමත් වුණා. සුපුරුදු දක්ෂතා අතරට එන්නටත් අපිට කිසිසේම හැකිවුණේ නැහැ. ඇත්තෙන්ම පීඩනය පාලනය කිරීමට නොහැකිවීමත් ලකුණු 150 සීමාවට අසීරුවෙන් පැමිණීමත් දැඩි අපේක්ෂා භංගත්වයක් ඇති කළා කියලා කිවයුතුයි.

මාතෘකා