ආසියානු රග්බි සෙවන්ස් තරගාවලිය : ශ්‍රී ලංකාවට තෙවැනි තැන

 ඡායාරූපය:

ආසියානු රග්බි සෙවන්ස් තරගාවලිය : ශ්‍රී ලංකාවට තෙවැනි තැන

නැවතත් අවසන් පූර්ව තරගයේදී හොංකොං හමුවේ පරාජය

හොංකොංහි පැවැති ආසියානු රග්බි සෙවන්ස් තරගාවලියේ පළමු අදියරේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රීලංකාව සමත් විය. ඒ පිලිපීනය ලකුණු 40-12ක් ලෙස පරාජය කරමිනි.

තෙවැනි ස්ථානය සඳහා පැවති තරගයේ පළමු අර්ධයේදී නවීන් හේනේකංකානම්ගේ, සුදම් සූරිආරච්චි සහ දිනුක් අමරසිංහගේ උත්සාහක ලකුණු හේතුවෙන් 21-7ක් ලෙස ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට හැකි විය.

දෙවැනි අර්ධයේදී දනුෂ් දයාන්, බුද්ධිම පියරත්න සහ නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් වාර්තා කළ අතර පිලිපීනය දෙවැනි අර්ධයේදී ලබා ගත්තේ ලකුණු 5ක් පමණි. එහෙයින් ලකුණු 40-12ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවැනි අදියරට පිවිසෙන්නේ සමස්ත තරගාවලියේ ද තුන්වැනි ස්ථානය හිමිකර ගනිමිනි.

ශ්‍රී ලංකාව සහභාගීවූ මූලික වටයේ තරගවලදී චීනය පරදවමින් ලකුණු 31-0ක ජයක්ද, චීන තායිපේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 33-12ජයක්ද වාර්තා කිරීමට සමත් වුවත් ආසියානු ශූරයන් වන ජපානය හමුවේ ලකුණු 21-0ක පරාජයක් ලැබීය.

එසේම අවසන් පූර්ව තරගයේදී හොංකොං පිල හමුවේ ලකුණු 31-0ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකාවට අවසන් තරග වරම් අහිමි විය.

පළමු අදියරේ ශූරතාව හිමිවූයේ ලකුණු 12-0ක් ලෙස හොංකොං කණ්ඩායම පරජය කළ ජපානයටයි.

මාතෘකා