ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය : ශ්‍රී ලංකාව චීනය හා ජපානය සමඟ හෙට තරග බිමට

 ඡායාරූපය:

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය : ශ්‍රී ලංකාව චීනය හා ජපානය සමඟ හෙට තරග බිමට

හොංකොංහි පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ලෙස හෙට ශ්‍රී ලංකාව සහ චීනය එකිනෙකා මුණ ගැසීමට නියමිතය.

ඒ අනුව අදියර තුනකින් පැවැත්වෙන තරගාවලියේ පළමු අදියර හෙට හොංකොංහිදි ඇරඹේ. රටවල් අටක් සහභාගිවන තරගාවලියේ ශ්‍රී ලංකාව ඒ කොටසින් තරග වදින අතර ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ජපානය සමග හෙට පස්වරුවේ පැවැත් වෙනු ඇත.

ශ්‍රී ලංකාව සමග ඒ කාණ්ඩයෙන් තරග වදින්නේ චීනය, ජපානය සහ චීන තායිපේ යන කණ්ඩායම්ය. බී කාණ්ඩයෙන් තරගාවලියට එක්වන්නේ දකුණු කොරියාව, මලයාසියාව, පිලිපීනය සහ සත්කාරක හොංකොං කණ්ඩායමයි. දෙදිනක් පුරා පැවැත්වෙන තරගාවලියේ අවසන් තරගය සැප්තැම්බර් 15 වැනිදා පස්වරුවේ පැවැත්වේ.

ශ්‍රී ලංකා රග්බි සෙවන්ස් කණ්ඩායමේ නිත්‍ය නායක සුදර්ශන මුත්තන්ත්‍රී ආබාධයක් හේතුවෙන් තරගාවලිය සඳහා හොංකොං බලා ගිය කණ්ඩායමට ඇතුළත් නොවූ අතර එම නිසා මෙවර ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය මෙහෙයවන්නේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසිනි.

සුදර්ශන මුතුතන්ත්‍රී සමග ධනුෂ්ක රන්ජන්ද ආබාධ හේතුවෙන් තරගාවලියට එක් නොවන අතර තවත් ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ජේසන් දිසානායක සහ තරින්ද රත්වත්තේද තරගාවලියට එක් නොවේ.

තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායම

ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ගයාන් වීරරත්න, ධනුෂ් දයාන්, කවිඳු පෙරේරා, සුදම් සූරියආරච්චි, රෙහාන් සිල්වා, රිසා රෆයිඩීන, කෙවින් ඩික්සන්, අදීශ වීරතුංග, බුද්ධිම පියරන්ත, නවීන් හේනෙකංකානම්ගේ සහ දිනුක් අමරසිංහ

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා