රජ කුමරියක වීම මට විශේෂයක් නොවෙයි - බෘෘනායි නායිකා

 ඡායාරූපය:

රජ කුමරියක වීම මට විශේෂයක් නොවෙයි - බෘෘනායි නායිකා

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ මෙවර රටවල් දොළහක් තරග වැදිණි. ඒ අතරින් බෲනායි රාජ්‍යයට හිමිවුණේ හයවැනි ස්ථානයයි. මෙවර එම කණ්ඩායමේ නායකත්වය බෲනායි රජුගේ දියණියට හිමිව තිබීමද සුවිශේෂත්වයකි. ශ්‍රී ලංකා පුහුණුකාරිණී තිලකා ජිනදාස මෙනෙවිය යටතේ දීර්ඝ කාලයක් තිස්සේ පුහුණුව ලැබූ එම කණ්ඩායමේ මෙවර පුහුණුකාරිත්වය ඕස්ට්‍රේලියානු ජාතික පුහුණුකාරිණියකට හිමිව ඇත. තරගාවලියේ එම කණ්ඩායම සහභාගිවන අවසන් තරගයෙන් පසු 'රැස' සමග බෘෘනායි සුල්තාන්වරයාගේ දියණිය වන Fadzilah Lubabul Bolkiah සංවාදයකට සහභාගි වුණාය.

කොහොමද තරගාවලිය? ඔබ ඒ ගැන සෑහීමකට පත්වනවාද?

අපි මෙම තරගාවලියේ හය වැනි ස්ථානය දිනාගත්තෙ. ගියවරත් අපිට හිමිවුණෙ හයවැනි ස්ථානයමයි. අපි එය රැකගත්තා. ලබන වර අපි මීට වඩා පියවරක් ඉදිරියට එන්න බලමු.

අපි දකිනවා බෲනායි ක්‍රීඩිකාවන්ගේ උස පිළිබඳ ප්‍රශ්නය? කොහොමද ඒ ගැටලුවට පිළියම් සොයන්නෙ?

ඒක ඇත්ත. අපේ උස වැඩි ක්‍රීඩිකාවෝ අඩුයි. එතැනදී අපි වේගය වැඩිදියුණු කරගන්න අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම හැකිතාක් ශක්තිය, වේගය වගේම දරාගැනීමේ හැකියාවන් වැඩිදියුණු කරන්න තමයි අපි වැඩිවශයෙන්ම අවධානය යොමුකරන්නෙ. ප්‍රතිවාදී කණ්ඩාමට පන්දුව රැගෙන යන්න තියෙන අවස්ථාවන් සිමා කරන්නත් එහිදී අපි උත්සහ කරනවා.

ක්‍රීඩාව වේගවත් කරන්න හැකියාව වැඩි දියුණු කරන්නෙ කොහොමද?

අපේ පුහුණුකාරිණියන් ඒ වෙනුවෙන් හුඟාක් දේවල් කරනවා. ක්‍රීඩිකාවෝ අවශ්‍ය තරමට ශක්ති වර්ධනය කරගන්න, දරාගැනීම වැඩිදියුණු කරගන්න වගේම එකිනෙකා නිවැරදි අවබෝධයෙන් යුතුව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙනුත් වැඩකරනවා.

තිලකා ජිනදාස කියන්නේ ශ්‍රී ලංකා පුහුණුකාරිණිය. මිට පෙර ඇය ඔබේ පුහුණුකාරිණිය? කොහොමද එය ඔබට දැනෙන්නෙ?

ඇය හොඳ පුහුණුකාරිණියක්. අපත් සමඟ දීර්ඝ කාලයක් ඇය සිටියා. ඒ කාලය තුළ අප බොහෝදේ ඉගෙන ගත්තා. ඇත්තෙන්ම ඇය නොමැතිවීම අපිට පාඩුවක්. අලුත් පුහුණුකාරිණිය සමඟ අපි කටයුතු කරනවා.

ඔබ පැරණි පුහුණුකාරිණිය සමඟ රටවල් රැසක පුහුණු සැසිවලට සහභාගි වුණා?

ඔව්. අපි බොහෝ තැන්වල පුහුණුව ලැබුවා. ඉතා හොඳ පුහුණුවක්.

ඔබ. බෘෘනායි රාජ්‍යයේ රජ පවුලේ කුමරියක්. ඒ දේ කොහොමද ඔබට දැනෙන්නේ?

විශේෂයක් නැහැ. මම රජ පවුලෙ කියලා මට හැඟීමක් නැහැ. මම බෲනායි කණ්ඩායමේ තවත් එක් ක්‍රීඩිකාවක්. මම රට දිනවන්න වෙහෙසෙන ක්‍රීඩිකාවක්. එපමණයි.

ඔබට කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවෝ සලකන්නෙත් ඒ විධිහටද?

ඔව්. මම බෲනායි රජ පවුලේ කියලා විශේෂයක් නැහැ. අපි එක කණ්ඩායමක්. මමත් එහි සාමාජිකාවක්. ඒ විධිහට තමයි ඔවුන් මට සලකන්නෙ. බෲනායි රාජ්‍යයයේ ක්‍රීඩා පහසුව වෙනුවෙන් බොහෝ සැලසුම් ක්‍රියාවට නංවා තිබෙනවා.

අපි දන්නවා මලල ක්‍රීඩා පුහුණුකරුවන් ඇතුළු විවිධ ක්‍රීඩාවන් වෙනුවෙන් පුහුණුකරුවන් ඔබේ රටේ සිටින බව. ක්‍රීඩාව වෙනුවෙන් බෲනායි රාජ්‍ය විශාල ප්‍රයත්නයක් ගන්නා බව ඉන් පෙනෙන්න තිබෙනවා?

නිසැකවම. අපි උත්සහ කරන්නෙ ක්‍රීඩාව තුළින් රටක් වශයෙන් බොහෝදේ ළඟා කරගන්නයි.

දැල්පන්දු ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් අනාගතයේ මොනවද ඔබේ රට කරන්න බලාගෙන ඉන්නෙ?

ඇත්තෙන්ම ඒ වෙනුවෙන් අපි රටක් වශයෙන් හුඟක් දේවල් කරනවා. අවශ්‍ය වන්නෙ අපි හැකි උපරිමයෙන් දක්ෂතා අතරට පැමිණීමයි.

අවසන් වශයෙන් ඔබ කොහොමද මෙම ක්‍රිඩාව සමඟ සම්බන්ධ වෙන්නෙ?

මම මේ ක්‍රිඩාව කුඩා කාලයේ සිටම කැමතියි. එය තමයි එට හේතුවුණේ. ඉතින් ටික ටික වැඩි තරුණ වියට එද්දී මම දැල්පන්දු ක්‍රීඩාව වෙනුවෙන් ජාතික පිලටත් එකතුවුණා. පසුගිය වතාවෙ මම ආබාධයකට ලක්වුණා. මෙවර මම යළි කණ්ඩායමට ආවා. සතුටුයි.

මාතෘකා