තුන්වැනි අදියරේ ජය අවිශ්ක මැඩොන්සාට

 ඡායාරූපය:

තුන්වැනි අදියරේ ජය අවිශ්ක මැඩොන්සාට

වසර 15කට පසු දහඅට වංගුව තරණය කරමින් අද දඹුල්ලට ළඟා වෙයි

බලංගොඩ සිට මහියංගණය දක්වා පැවති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් සංවිධානය කරන ලද SLT ස්පීඩ් අප් පාපැදි සවාරියේ තෙවැනි අදියර ජය ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කළ අවිශ්ක මැඩොන්සා සමත් විය.

බලන්ගොඩ ඔරලෝසු කණුව අසලින් ඊයේ (06දා) පෙ.ව. 8.30ට ගමන් ඇරඹූ මෙම අදියර කි.මී. 161ක මගක් ගෙවමින් ප.ව. 12.45 වන විට මහියංගණය මහජන ක්‍රීඩාංගණය අසලින් අවසන් විය.

එම අදියරේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිහාන් පුෂ්පකුමාරට හිමිවූ අතර, තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභාත් මධුසංක විසින් හිමකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් තෙවැනි වරටත් සංවිධානය කරන ලද SLT ස්පීඩ් අප් සවාරියේ තෙවන අදියර අවසන් වන විට තරගකරුවන් විසින් කි.මී. 450.17ක දුරක් ගෙවා අවසන් කර ඇත. සමස්ත සවාරියේ දුර කි.මී. 821කි. අදියර තුනක් අවසාන වන විට සිදුවූ සුවිශේෂම සිදුවීම වන්නේ, අදියර තුනෙහිම පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සඳහා විවිධ ජයග්‍රාහකයන් තේරී පත්ව සිටීමය.

ඊයේ (06දා) දිනය ආරම්භ වන විට අදියර දෙකක් අවසානයේ සවාරියේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජනක හේමන්ත ඔහුට හිමි නිල ජර්සිය ලබා ගත්තේය. ඔහු අදියර දෙක අවසානයේ පැය. 7.40.58ක කාලයක් වාර්තා කර තිබේ. මෙහිදී යොවුන් පාපැදිකරුවා ලෙස අවිශ්ව උමයංග (පොලිසිය), වේගවත්ම ක්‍රීඩකයා ලෙස තුෂාන් රාජපක්‍ෂ (යුද හමුදාව) හා කඳුකර ශූරයා ලෙස සජිත් හසංත (වරාය අධිකාරිය) යන ක්‍රීඩකයෝද ඔවුන්ට හිමි නිල ජර්සි ලබා ගත්හ.

අදියර පහකින් (දින පහක්) සමන්විත මෙහි සිවුවැනි අදියර අද (07දා) මහියංගනයේ සිට දඹුල්ල දක්වා කි.මී. 140ක දුරකින් ක්‍රියාත්මක වේ. මහියංගනය මහජන ක්‍රීඩාංගණය අසලින් පෙ.ව. 8.30ට සවාරිය ගමන් ආරම්භ කරන අතර, එය පෙ.ව. 8.45ට හසලක ඔරලෝසු කණුව අසලින් නිල වශයෙන් ආරම්භ වේ. මෙම අදියර දහඅට වංගුව තරණය කරමින් ගමන් කර අතර, පාපැදි තරගාවලියක් දහඅට වංගුව හරහා ගමන් කරනුයේ වසර 15කට පසුව වීම සුවිශේෂ වෙයි.

දහඅට වංගුව ප්‍රදේශයට සවාරිය පෙ.ව. 8.58 වන විට ළඟාවන අතර, එතැන් සිට උඩුදුම්බර, හුන්නස්ගිරිය, වික්ටෝරියා හංදිය, මහනුවර, අකුරණ හා මාතලේ යන නගර පසු කරමින් ප.ව. 12.20ට දඹුල්ල බස්නැවතුම්පළ අසලින් සිවුවැනි අදියර නිමාවට පත්වීමට නියමිතය.

මාතෘකා