අපට වැරදුණු තැන් -2

 ඡායාරූපය:

අපට වැරදුණු තැන් -2

ආසියාතික තරග පරාජය

යළිත් වරක් ආසියානු ක්‍රීඩා තරගයකින් බඩ සුද්ද වන පරාජයක් ලැබුවේ 2010 වීනයේ ගුවැන්ෂු නගරයේ පැවති 16 වන ආසියානු තරගයේදීය. මෙම උළෙලේ ක්‍රීඩා 22ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 102ක් ද, නිලධාරීන් 31ක් ද, වෛද්‍යවරුන් නිරීක්ෂකයින් ඇතුළු නිලධාරීන් ගණනාවක් ද සහභාගි කරවන ලදි.

මෙම පරාජය ගැන දීර්ඝ ලෙස සොයා බලා කරුණු වාර්තා කිරීමට එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයා වූ මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කරන ලදී. මෙහි සභාපතිත්වය දැරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දීර්ඝ කාලයක් කටයුතු කළ හිටපු ලේකම්වරයෙකු වූ කේ.ඒ.එස්.ගුණසේකර මහතාය. හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ නෙලුම් ගුණසේකර හා ප‍්‍රවීණ රගර් ක්‍රීඩකයෙකු වූ මයියා ගුණසේකර මෙහි සාමාජිකත්වය දරන ලදි. ලේකම් වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ සිල්වා මහතා කටයුතු කළේය. පසුව මෙම තනතුරට පතිරගේ මෙනෙවිය පත් වූවාය.

මෙම ක්‍රීඩා උළෙලෙට සහභාගි වූ බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශාරීරික යෝග්‍යතාව පවා නොතිබු බවත් නිසි පුහුණුවක් නොමැතිව තරගවලට ඉදිරිපත් කළ බවත් එනිසාම මෙය ඔවුන්ට විනෝද සංවාරයක් වූ බවත් කොමිසම වාර්තා කළේය. මෙම කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් බී.ඩී.දහනායක මහතා මෙම පරාජයට හේතු වී ඇත්තේ මෙරට ක්‍රීඩා පුහුණු කිරීමට දීර්ඝ කාලීන වැඩ පිලිවෙලක් නොමැති වීම බව පෙන්වා දුන්නේය.

මෙම පරාජයට ආසන්න හේතු වශයෙන් මෙම කොමිසම පහත සඳහන් කරුණු දක්වා තිබුණි.

1. ආසියානු මට්ටමේ තරගවලට සහභාගි නොවිය යුතු මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවීම.

2. කාලයකට ඉහත තිබු පෞද්ගලික දක්ෂතා මත ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම

3. අවසන් මොහොතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම

4. පුහුණුකරුවන් අතර පැවති කල්ලිවාද

5. අසනීපවලට ලක් වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගවලට තෝරා ගැනීම.

6. විදේශ අත්දැකීම් ලබා ගන්නා තරගයක් ලෙස සැලකීම

7.අත්‍යවශ්‍ය නිලධාරීන් නොමැතිව ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් තරගයට ඉදිරිපත් කිරීම.

8. ජාතික මට්ටමේ ව්‍යාප්තියක් නොමැති ක්‍රීඩාත් තරගයට ඉදිරිපත් කිරීම.

9. දේශගුණික වෙනස්කම්වලට අනුවර්තනය විය නොහැකි වීම.

මෙම පරාජයට දීර්ඝ කාලීන වශයෙන් බලපෑ හේතු ද දක්වන ලදී.

1. මෙම තරගාවලියට සහභාගි වීම පිණීස ක්‍රීඩා අමාත්‍යාංශයට, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට, ජාතික ඔලිම්පික් කමිටුවට, ජාතික ක්‍රීඩා සංගම්වලට කිසිදු සැලැස්මක් නොමැතිවීම.

2. ජාතික ක්‍රීඩා සංගම්වල අක්‍රියභාවය

3. සුදුසුකම් ලත් පුහුණුකරුවන් නොසිටීම.

4. යටිතල පහසුකම් නොමැතිවීම.

5. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් මානසික පුහුණුවක් නොලැබීම.

6. ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ක්‍රීඩා විද්‍යායතනය, ක්‍රීඩා වෛද්‍යායතනය, සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරිය සමග විධීමත් සම්බන්ධිකරණයක් නොමැතිවීම.

7. දේශීය ක්‍රීඩා තරග ප‍්‍රතිථල පිළිබඳ පසු විපරම් දර්ශකයක් නොවීම.

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් ඔවුන්ගේ පැවැත්ම සලකා තරගාවලියට ඉදිරිපත් කරන්නේ නුසුදුස්සන් බව දැන දැනත් ඉදිරිපත් කළ බව කොමිසම සඳහන් කළේය. මෙය බංකොලොත් ක්‍රීඩා ප්‍රතිපත්තියක් බව අමුතුවෙන් කිව යුතු නැත. මෙම උළෙල සඳහා තෝරා ගැනීමේ නිර්ණායක වශයෙන් තිබී ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා නොව ඔවුන්ගේ වත් පොහොසත්කම්ය. ජාත්‍යන්තර සංගම්වල සාමාජිකත්වය ආරක්ෂා කර ගැනීම වැනි පටු පරමාර්ථ ද මේ තුළ විය. ආසියානු ක්‍රීඩා සඳහා ජයග්‍රහණ ලැබීමට ප්‍රමාණවත් පුහුණුවක්, පුහුණු සැලැස්මක් නොමැතිව කණ්ඩායම් ඉදිරිපත් කර තිබු බවත් වාර්තා විය. මෙරට පුහුණුකරුවන්ගේ තාක්ෂණික දැනුම අන්තර් ජාතික මට්ටමේ ක්‍රීඩකයින් පුහුණු කිරීමට ප්‍රමාණවත් නොවන බව සඳහන් කරන ලදි. මේ වෙනුවෙන් ඇති ජාතික ක්‍රීඩා විද්‍යායතනය තම වගකීම පැහැර හැර එය බ්‍රොයිලර් පැටව් නිෂ්පාදනාගාරයක් හැටියට සකස් කර තිබෙන විට මෙයට වඩා ලොකු ප‍්‍රතිථලයක් ලැබිය නොහැකිය.

මේ සම්බන්ධව නිසි නායකත්වයක් දැක්විය යුතු ක්‍රීඩා අමාත්‍යවරයාත්, අමාත්‍යාංශ ලේකම් ප්‍රමුඛ නිලධාරි පෙලැන්තියත් තම වගකීම්වලින් බැහැරව සිටි බව වාර්තා කළේය. ජාතික ඔලිම්පික් කමිටුව ගැන මෙසේ සඳහන් කරන ලදී. ’ ආසියානු තරගවලට සහභාගි විය යුතු හොඳම කණ්ඩායම තෝරා ඉදිරිපත් කිරීම ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීම වුවත් එය ඉටු කර නොමැත. ’ ජාතික තේරීම් කමිටුව මෙහිදී ක්‍රියාකර ඇත්තේ අංශභාග කමිටුවක් හැටියට බව මෙම වාර්තාව අනුව පෙනී යයි. ජාතික ක්‍රීඩා සංගම් මේ සම්බන්ධයෙන් අනුගමණය කළේ නිද්‍රාශිලී ප්‍රතිපත්තියකි. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී රඟදක්වා ඇත්තේ ක්‍රීඩා ක්ෂෙත‍්‍රයේ ප්‍රවීණයෙකුගේ වරිතයක් නොව පතෝල වරිතයකි. පැරැණි කාලයේ ග්‍රාමීය ජනතාව අටමස්ථාන වන්දනාව සඳහා සූදානම් වූ ආකාරයෙන් සුදානම් වූ මෙම ක්‍රීඩා කණ්ඩායම ගුවැන්ෂු නගරය සුවසේ වන්දනාමාන කර පින් පමණක් රැගෙන ලංකාවට පැමිණි වග සඳහන් කරනු වටී. ලෙඩා මළත් බඩ සුද්ද වී ඇත යන මරණ පරීක්ෂක වාර්තාව සමග මෙම පරාජිත ක්‍රීඩා උළෙල ක්‍රීඩා ඉතිහාසයෙන් මැකී යා යුතුය.

[ලලිත් ගුණවර්ධන]

හිටපු ලේකම්, ජාතික ක්‍රීඩා සභාව

මාතෘකා