එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනී

 ඡායාරූපය:

එංගලන්තය එක්දින තරගාවලිය ජය ගනී

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැති සිව්වැනි එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 18 කින් ජයලැබීමට එංගලන්ත කණ්ඩායම පසුගිය සෙනසුරාදා සමත් විය.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දිවා තරගයක් ලෙස පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට පැවරීමට එංගලන්ත නායකයා තීරණය කළේය. කාසියේ වාසිය දිනා තණතීරුවෙන් උපරිම ප්‍රතිඵල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉයන් මෝගන් ගනු ලැබූ එම තීරණය පස්වැනි පන්දුවාරයේදීම ක්‍රිස් වෝක්ස් විසින් නිවැරදි බව සනාථ කළේ පළමුවැනි කඩුල්ල වශයෙන් සදීර සමරවික්‍රමගේ කඩුල්ල දවාගනිමිනි. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ස්ථාවර ලකුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට උත්සහ කළ නායක දිනේෂ් චන්දිමාල් හා නිරෝෂන් දික්වැල්ලගේ උත්සාහය ව්‍යර්ථ කළේ මොයින් අලී විසිනි. ඔහු තරගයේ 19 වැනි පන්දුවාරය යවමින් සිටියදී ශ්‍රී ලංකා නායකයාගේ කඩුල්ල ලකුණු 33කට දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව හොඳින් පන්දුවට පහරදී අර්ධ ශතකයක් රැස්කර සිටි නිරෝෂන් දික්වැල්ල දැවී ගිය අතර ශ්‍රී ලංකා ඉනිමේ වර්ණවත්ම පිතිකරුවා බවට පත් වුණේ දසුන් ශානකයි. ඔහු පන්දු 66 ක් තුළ හයේ පහර පහක් සහ හතරේ පහර හතරක් සමඟින් ලකුණු 66 ක් රැස්කළ අතර දුවද්දී දැවීයාමකට හසුවූයේ තරගයේ 43 වැනි පන්දුවාරයේදීය.

ඔහුගේ දැවීයාමෙන් අනතුරුව අකිල ධනංජය සමඟ සාර්ථක සබඳතාවක් පවත්වමින් තිසර පෙරේරා ලකුණු 44ක් රැස්කළ අතර ඊට හයේ පහරක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් කළේය. අකිල නොදැවී ලකුණු 32ක් රැස් කරමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ දැම්මේ හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් ඉනිමේ වේගවත්ම ප්‍රහාරක වේගය සටහන් කළ පිතිකරුවා වශයෙනි. පන්දුවාර පනහක් තුළ ලකුණු 273ක් රැස්කිරීමට සමත්වීමත් සමඟ බොහෝ විචාරකයන් පැවසූයේ ක්‍රමානුකූලව පාලනයකින් යුතුව මුල් කඩුලු හතර බිඳ ගැනීමට සමත් වන්නේ නම් තරගය ජයගැනීමේ වැඩි සම්භාවිතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු බවයි. කෙසේ නමුත් එහිදී ජෝ රෑට් සහ ඉයන් මෝගන්ගේ කඩුලු දවාගැනීම අනිවාර්ය බවද ඔවුහු පැහැදිලිව ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් තරගය අතරතුර වර්ෂාව ඇදහැලුණු හෙයින් එංගලන්ත ඉනිම වෙනුවෙන් යැවීමට හැකිවූයේ පන්දුවාර 27ක් පමණි. පාදයේ වළලුකරේ ආබාධයක් ලක්ව සිටි ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටෝ වෙනුවට ඇලෙක්ස් හේල්ස්ගේ සේවය එංගලන්ත කළමනාකාරිත්වය විසින් ලබාගෙන තිබිණි. එහෙත් ඔහගේ කඩුල්ල මුළු ලකුණු 52 කදී දවාගැනීමට අකිල ධනංජය සමත් වූයේ නිරෝෂන් දික්වැල්ලගේ සහය සහිතව කඩුල්ල බිඳ දැමීමක් වශයෙනි. ඉන් අනතුරුව ලකුණු 45 ක් ලබාසිටි ආරම්භක පිතිකරු ජේසන් රෝයි කඩුල්ල මුවාකිරීමකටද හසුකරගැනීමට ධනංජය යළි සමත් විය. කෙසේ වෙතත් අපේක්ෂා කළ අයුරින් පාලනයකින් යුතුව පන්දුයැවීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් යම් ප්‍රමාණයකට මුල් පන්දුවාර කීපයේදී අපොහොසත් වූ හෙයින් වර්ෂාව හේතුවෙන් තරගය නතර කිරීමත් සමඟ ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටි හෙයින් විනිසුරුවන් තරගය අතහැර දැමීමත් සමඟ ජයග්‍රහණය එංගලන්ත පිලට ලබාදීමට තීරණය විණි. ඒ අනුව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස පෙරමුණ ගනිමින් තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජයගැනීමට සංචාරක ක්‍රීඩකයෝ සමත් වූහ. දෙරට අතර එක්දින තරගාවලියේ අවසන් තරගය හෙට(23) පැවැත්වීමට නියමිතය.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව

නිරෝෂන් දික්වැල්ල ක.මු.ක. මොයීන් 52

සදීර සමරවික්‍රම ඇ. බට්ලර් ප. වෝක්ස් 01

දිනේෂ් චන්දිමාල් ප. මොයීන් 33

කුසල් මෙන්ඩිස් ක.මු.ක. රෂීඩ් 05

ධනංජය ද සිල්වා ඇ. බට්ලර් ප. කුරාන් 17

දසුන් ශානක දුවද්දී දැවී ගියා 66

තිසර පෙරේරා දුවද්දී දැවී ගියා 44

අකිල ධනංජය නොදැවී 32

ලසිත් මාලිංග නොදැවී 04

අතිරේක 19

මුළු ලකුණු (පන්දුවාර 50 ක් අවසානයේ) 273

පන්දුයැවීම

ක්‍රිස් වෝක්ස් 10-0-45-1, ඔලී ස්ටෝන් 7-0-50-0, ටොම් කුරාන් 9-1-50-1, මොයීන් අලී 10-0-55-2, රෂීඩ් 10-0-36-1, බෙන් ස්ටෝක් 4-0-27-0

එංගලන්තය

ජේසන් රෝයි ක.මු.ක. ධනංජය 45

ඇලේකස් හේල්ස් ක.බි.දැ. දික්වැල්ල ප. ධනංජය 12

ජෝ රූට් නොදැවී 32

ඉයන් මෝගන් නොදැවී 31

අතිරේක 12

මුළු ලකුණු (පන්දුවාර 27 ක් අවසානයේ කඩුලු 2ක් දැවී) 132

පන්දුයැවීම

ලසිත් මාලිංග 5-0-15-0, අමිල අපෝන්සු 6-0-37-0, කසුන් රාජිත 5-0-27-0, අකිල ධනංජය 7-0-27-2, ධනංජය ද සිල්වා 4-0-18-0

මාතෘකා