වෙළෙඳ සේවා වොලිබෝල් අවසන් තරග සති අන්තයේ

 ඡායාරූපය:

වෙළෙඳ සේවා වොලිබෝල් අවසන් තරග සති අන්තයේ

වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘7 වැනි වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ’ අවසන් මහා තරග මෙම මස 10 හා 11 යන දෙදින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශූරතා කුසලාන, ‘ඒ’ කොටසේ සහ සුපර් ලීග් යන කාණ්ඩයන්ගෙන් පිරිමි හා කාන්තා දෙඅංශයේම අවසන් තරග මෙහිදී පැවැත්වීමට නියමිතය.

හෙට ප.ව 1.00ට ඒ කොටසේ අවසන් මහා තරගවලදී Omega Line හා Eskimo Fashion Knitwear (Pvt) Ltd කණ්ඩායම් පිරිමි අංශයේ ශූරතාව වෙනුවෙන්ද Manufacturers Limited සහ පානදුර MAS Unichela කණ්ඩායම් කාන්තා අංශයේ ශූරතාව වෙනුවෙන්ද තරග වදිනු ඇත.

අනිද්දා (11 ) පෙ.ව. 8.00 සිට ශූරතා කුසලාන සහ සුපර් ලීග් කාණ්ඩයේ අවසන් තරග පැවැත්වීමට තරග සංවිධායකයන් කටයුතු යොදා තිබේ. එහිදී Ocean Lanka (Pvt) Ltd සහ Expo Lanka Holdings PLC කණ්ඩායම් පිරිමි ශූරතා කුසලාන වෙනුවෙන් තරග වදින අතර කාන්තා අංශය වෙනුවෙන් Omega Line ක්‍රීඩා සමාජය සහ මාවතගම MAS Casualline එකිනෙකා හමුවීමට නියමිතය. සුපර්ලීග් කාණ්ඩයේ පිරිමි අංශයේ ශූරතාව සඳහා Teejay Lanka PLC සහ කටුනායක MAS Kreeda Leisureline ද කාන්තා ශූරතාව වෙනුවෙන් මීරිගම Brandix Apparel Solutions සහ මාවතගම MAS Casualline කණ්ඩායම්ද තරග වැදීමට නියමිතය.

එක් එක් කාණ්ඩයේ ශූරයන්ට, අනුශූරයන්ට හා තෙවැනි ස්ථානය හිමිකරගන්නා කණ්ඩායම අතර රුපියල් මිලියන 1.5කට අධික ත්‍යාග මුදලක් බෙදා දීමට නියමිතය. එපමණක් නොව එම කාණ්ඩවල දක්ෂතම ක්‍රීඩකයා, දක්ෂතම ක්‍රීඩිකාව, දක්ෂතම පන්දු සකසන්නා, දක්ෂතම පන්දු සකසන්නිය, දක්ෂතම ප්‍රහාරකයා හා දක්ෂතම ප්‍රහාරිකාව යන විශේෂිත සම්මාන පිරිනැමෙනු ඇත.

මාතෘකා