ජාත්‍යන්තර මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලිය 26 සිට

 ඡායාරූපය:

ජාත්‍යන්තර මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලිය 26 සිට

සිලෝන් බැඩ්මින්ටන් සංගමය විසින් සත්කාරකත්වය සපයනු ලබන පළමුවැනි ජාත්‍යන්තර මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලිය ‘ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලිය 2018’ මේ මස 26 වැනිදා සිට 28 දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පූර්ණ අනුමැතිය යටතේ මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, චීනය, තායිවානය, ඔස්ට්‍රේලියාව, නේපාලය, නවසීලන්තය, ඉන්දුනීසියාව, හොංකොං සමඟ වැඩිම තරගකරුවන් පිරිසකගෙන් සමන්විත ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් ගණනාවක් මේ වනවිට තරගාවලියට සහභාගි වීමට අයදුම්පත් සියයකට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ. තරගාවලියට අයදුම්පත් බාරගන්නා අවසන් දිනය නොවැම්බර් මස 15 වැනිදාය.

‘ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලිය සඳහා අයදුම්පත් https://ceylonmaters.com/index.php/online-registration-portal/ වෙබ් අඩවිය ඔස්සේ හෝ අංක 284, වොක්ෂෝල් වීදිය, කොළඹ 2 ස්ථානයෙන් ලබාගත හැකිය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නීතිරීති හා කොන්දේසි ප්‍රකාරව තරගාවලිය පැවැත්වෙන අතර එම නීතිරීති සහ සිලෝන් බැඩ්මින්ටන් සංගමයේ විශේෂ නීතිරීති තරගාවලි අධ්‍යක්ෂවරයා විසින් ක්‍රියාත්මක කරනු ඇත.

ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලියේ තරග ඉසව් සහ වයස් කාණ්ඩ මෙසේය- පිරිමි සහ කාන්තා ඒකල, පිරිමි සහ කාන්තා යුගල, මිශ්‍ර යුගල- වයස් කාණ්ඩ -35+, 40+, 45+, 50+, 55+, 60+, 65+, 70+, 75+

තරගාවලියේ සංවිධායකයන් විසින් සියලුම තරගකරුවන්ට සහ ඔවුන්ගේ පිරිසට විශේෂ හෝටල් පහසුකම් සහිත පැකේජයක් සලසා දෙන අතර කොළඹ හිල්ටන්, කිංග්ස්බරි, ගලදාරී, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් සහ කොලම්බු සිටි හෝටෙල් හි එම පහසුකම් ස්ථාපනය කර ඇත. අමෙරිකානු ඩොලර් 7,500ක මුදල් ත්‍යාග මල්ල සෑම තරග ඉසව්වකම ජයග්‍රාහකයාට සහ අනුශූරයාට බෙදී යනු ඇත.

තරගාවලියට සහභාගිවීමේ අයදුම්පත් : සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය, 284, වොක්ෂෝල් වීදිය, කොළඹ 02දුරකථන : +94 11 23 32 375 සහ ක්ෂණික ඇමතුම් : +94 77 79 96 699 විද්‍යුත් තැපෑල : [email protected] සහ [email protected]

මාතෘකා