ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - එංගලන්ත පළමු ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාවට ලකුණු 462ක අසීරු ඉලක්කයක්

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිතිකරුවෝ තරගයේ තුන්වැනි දිනය නිමා වන විට කිසිවෙක් නොදැවී ලකුණු 15ක් ලබා සිටියහ.

ඒ සංචාරක කණ්ඩායමෙන් එල්ලවූ ලකුණු 462ක අසීරු ඉලක්කය හඹා යමින් සිටින අතරවාරයේය.

ඊයේ දිනයේ තරගයේ වීරයා ලෙස නම් කළ හැකි එංගලන්ත ආරම්භක පිතිකරු කීටන් ජෙනිංග්ස් එංගලන්ත ඉනිම පුරාම කඩුල්ලේ රැඳී සිටිමින් තම කණ්ඩායමට ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට සමත් විය. එංගලන්ත දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 322කට අත්හිටුවන විට ජෙනිංග්ස් නොදැවී ලකුණු 146ක් රැස් කරගෙන සිටියේය. ඒ සඳහා පන්දු 280කට මුහුණ දුන් ජෙනිංග්ස් අලංකාර හතරේ පහර 9කින් සිය ඉනිම සැරසීය. එංගලන්ත දෙවැනි ඉනිමේ කඩුලු 3ක් ලකුණු 74කට බිඳ වැටී තිබියදී ජෙනිංග්ස් සමග එක්වූ බෙන් ස්ටොක්ස් සිව්වෙනි කඩුල්ල සඳහා ලකුණු 107ක සබඳතාවයක් ගොඩනගමින් එංගලන්තයට ජයග්‍රහණයේ බලාපොරොත්තු තව දුරටත් ඇති කිරීමට සමත් විය. ස්ටොක්ස් ලකුණු 62ක් රැස් කළේ පන්දු 93කිනි. එ් සඳහා හතරේ පහර 4ක් සහ දැවැන්ත හයේ පහර 3ක් එල්ල කිරීමට ඔහු සමත් විය. ස්ටොක්ස්ගේ ඉනිම අවසන් වූයේ දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනි.

ස්ටොක්ස්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පැමිණි ජෝස් බට්ලර් ලකුණු 35ක් රැස් කිරීමට සමත් විය. බට්ලර් දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5කට ලකුණු 258ක් ලෙසය. 6 වැනි කඩුල්ල වෙනුවෙන් ජෙනිංග්ස් සමග එක්වූ කඩුලු රකින ක්‍රීඩක බෙන් ෆොක්ස් දෙවැනි ඉනිමේද සිය කණ්ඩායම වෙනුවෙන් ලකුණු 37ක් එක් කිරීමට සමත් විය.

දිනයේ අවසන් පන්දුවාර 7ට පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව සලසා දී කඩුල්ලක් හෝ දෙකක් දවා ගනිමින් ප්‍රතිවාදී කණ්ඩායම පීඩනයට පත් කිරීමේ අරමුණින් එංගලන්ත නායකයා සිය ඉනිම අවසන් කළ අතර ඒ වන විට ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 461ක් ඉදිරියෙන් පසුවිය.

පළමු ඉනිමේ මෙන්ම දෙවැනි ඉනිමේද එංගලන්ත පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කරමින් වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යැවූ ශ්‍රී ලංකා පන්දු යවන්නා වූයේ දිල්රුවන් පෙරේරාය. දිල්රුවන් පන්දුවාර 30ක් යවා ලකුණු 94කට එංගලන්ත කඩුලු 2ක් බිඳ දැමීමට සමත් විය.

තම අවසන් ටෙස්ට් ඉනිම වෙනුවෙන් පන්දු යැවූ රංගන හේරත් පන්දුවාර 23ක් යවා ලකුණු 59කට කඩුලු 2ක් දවා ගත්තේය. ඒ සමගම තම අවසන් ටෙස්ට් තරගයේදී හේරත් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

-----------------------------

ලකුණු පුවරුව

එංගලන්ත පළමු ඉනිම 342

(බෙන් ෆොක්ස් 107, සෑම් කරන් 48, කීටන් ජෙනිංග්ස් 46, ජෝ රූට් 35, දිල්රුවන් පෙරේරා 5/75, සුරංග ලක්මාල් 3/ 73)

ශ්‍රී ලංකා පළමු ඉනිම 203

(ඇන්ජලෝ මැතිව්ස් 52, දිනේෂ් චන්දිමාල් 33, නිරෝෂන් දික්වැල්ල 28, මොයින් අලී 4/66, අදිල් රෂීඩ් 2/30, ජැක් ලීච් 2/41)

-----------------

එංගලන්තය දෙවැනි ඉනිම

රෝරි බර්න්ස් දුවද්දි දැවී ගියා 23

කීටන් ජෙනිංග්ස් නොදැවී 146

මොයින් අලී ඇ.හේරත් ප.දිල්රුවන් 3

ජෝ රූට් ඇ. දික්වැල්ල ප. හේරත් 3

බෙන් ස්ටොක්ස් ප. දිල්රුවන් 62

ජෝස් බට්ලර් ඇ. කෞෂාල් ප. හේරත් 35

බෙන් ෆොක්ස් ඇ. මෙන්ඩිස් ප. අකිල 37

සෑම් කරන් නොදැවී 0

අතිරේක 13

මුලු ලකුණු (පන්දුවාර 92කදී කඩුලු 6ක් දැවී) 322

පන්දු යැවීම

සුරංග ලක්මාල් 9-2-30-0

දිල්රුවන් පෙරේා 30-3-94-2

රංගන හේරත් 23-1-59-2

අකිල ධනංජය 18.5-2-87-1

ධනංජය ද සිල්වා 12.1-2-41-0

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

දිමුත් කරුණාරත්න නොදැවී 7

කෞෂාල් සිල්වා නොදැවී 8

අතිරේක 0

මුලු ලකුණු (පන්දුවාර 7කදී කිසිවෙක් නොදැවී) 15

පන්දු යැවීම

සෑම් කරන් 1-1-0-0

ජේම්ස් ඇන්ඩර්සන් 1-0-4-0

මොයීන් අලී 2-0-7-0

අදීල් රෂීඩ් 2-0-2-0

ජැක් ලීච් 1-0-2-0

මාතෘකා