ලෝක පාපන්දු කුසලානයේ සදාතනික හිමිකරු සිල්වියෝ ගැසානිගා

 ඡායාරූපය:

ලෝක පාපන්දු කුසලානයේ සදාතනික හිමිකරු සිල්වියෝ ගැසානිගා

1986 වසරේ මෙක්සිකෝවේදී පැවති දහතුන්වැනි ලෝක පාපන්දු ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ ආර්ජන්ටිනාවයි. නායක දියාගෝ මැරඩොනා ජයග්‍රාහී ජුලියස් රිමේට් රන් කුසලානය දෝතට තුරුලු කරගෙන සිපාචාර දක්වනවිට අවසන් තරගයේදී පරාජය වු බටහිර ජර්මානු නායකයා ක්‍රීඩාංගණය තුළ හඬා වැටෙන්නට විය. 1982 දී මෙන්ම 1986දී ද ලෝක පාපන්දු කුසලානය ඔවුන් අතින් ගිලිහීයාම ඊට හේතුවයි.

ඔහු එසේ හැඬුවේ පාපන්දු ලෝක ශූරතාවය අහිමිවීමේ ශෝකය ඔහුට දරා ගැනීමට අපහසුමවූ බැවිණි. මැරඩොනා ප්‍රීති වූ සහ ජර්මන් නායකයා ශෝක වූ ලෙසම සෑම වසර හතරකට වරක්ම එක් නායකයෙකු ප්‍රීතිවන විට තවත් නායකයෙකු ශෝකවේ. ඒ පාපන්දු රන් කුසලානයේ අතීත සහ වර්තමාන කථාවයි. අනාගතයේදීද එසේම වනු ඇත. පාපන්දු රන්කුසලානය දෝතට ගැනීමේ සහ අහිමිවීමේ සිහිනයේ කථාව එයයි.

අවසාන මහා තරගයෙන් පසුව ජයග්‍රාහී කණ්ඩායමට රන් කුසලානය හිමිවේ. නමුත් ඔවුන්ගේ රටට ගෙන යාමට හිමි වන්නේ නියම රන් කුසලානය ලෙසම නිර්මාණය කළ අනුරුවකි. සෑම වසර හතරකට වරක්ම පැවැත්වෙන ලෝක පාපන්දු මගල්‍යයේදී පිරිනමනු ලබන නියම ජුලියස් රිමේට් රන් කුසලානය නැවත වරක් ජාත්‍යන්තර පාපන්දු සංගමය හරහා එය නිර්මාණය කළ ස්ථානයටම පැමිණේ.

එසේ පැමිණෙන කුසලානය වසර හතරකට පෙර තිබු තත්ත්වයටම නැවත පත් කිරීම කුසලානය නිර්මාණය කළ ආයතනයේ සේවකයින්ගේ වගකීමයි. ඉන් පසුව නැවත වරක් එය ජයග්‍රහණය කිරීමේ සිහිනය සඵල කිරීම සඳහා අවසාන මහා තරගය අවසන් වීමට පෙර නියමිත ස්ථානයට ලබා දේ. එලෙස පාපන්දු ලෝක ශූරතාවය නැවත පිළිසකර කිරීම ආරම්භ වුයේ 1974 වසරෙන් පසුවය.

වර්තමානයේදී ලෝක පාපන්දු ශූරයින් සඳහා පිරිනමුණු ලබන ජුලියස් රිමේට රන් කුසලානය නිර්මාණය කිරීම ආරම්භකර ඇත්තේ 1970න් පසුවය. මෙම කුසලානය පලමු වරටතරගාවලියකදී පිරිනමන ලද්දේ 1974 බටහිර ජර්මනියේ පැවති දහවැනි ලෝක පාපන්දු ශූරතා තරගාවලියේදීය. එය මුලින්ම සතුකර ගැනීමේ වාසනාව ලැබුණේ තරගාවලියේ සත්කාරකත්වය දැක්වූ බටහිර ජර්මනියටමය.

සෙන්ටිමීටර් 36.8ක් උසින් යුත් මෙම අනර්ඝ කුසලානය කි.ග්‍රෑ. 6.1ක බරකින් යුක්තය. කැරට් 18 තනි රත්තරන් වලින් නිර්මිතය. කුසලානය නිෂ්පාදනයකර ඇත්තේ ඉතාලියේ මිලාන්හි පෙඩ්රානෝ ඩුගනානෝ ප්‍රදේශයේ පිහිටි බර්ටෝනි අයතනය විසිනි. එහි කලා අධ්‍යක්ෂවරයාවූ මූර්ති ශිල්පී සිල්වියෝ ගැසානිගා රන් කුසලානයේ නිර්මාණ ශිල්පියායි. කුසලානය 1974 සිටම එකම ශිල්පීය ක්‍රම භාවිතයෙන් හස්ත කර්මාන්ත ශිල්පයෙන් නිර්මාණය කර ඇත. පිලිසකර කිරීමද එසේමය.

වරක් ජුලියස් රිමේට් කුසලානය කිරීමේ අරමුණ පිලිබඳව අදහස් දැක්වූ ගැසනිකා ප්‍රකාශ ‘‘කළේ ජයග්‍රාහී මොහොතේ දී එහි සියලු අන්තර්ගතය ද සමග ක්‍රීඩකයාගේ පරිශ්‍රමයත්, ජවයත් ප්‍රීතියත් සංකේතවත් කරන දෙයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ වුණා‘‘ යනුවෙණි. ‘‘මෙම ජවය අක්‍රමික ධාරාවක් ලෙස පෙණුනත්, සත්‍ය වශයෙන්ම එහි ඊටම ආවේණික සුසංවාදී ශක්තියක් ගැබ්ව පවතී. රළු පදනම කෙරෙන් මතුවන රූප ජයග්‍රහණයේ සංතුෂ්ටිය පිළිබඳ හැඟීම ජනනය කරයි.‘‘ ගැසනිකා පවසයි.

ගැසනිකා ලෝක පාපන්දු ශූරතාවයේ පමණක් නොව යුරෝපානු සුපිරි පාපන්දු කුසලානය සහ යුරොපා ලීග් පාපන්දු කුසලානයේද නිර්මාතෘවරයාය. එම අසහාය නිර්මාණ ශිල්පියා මිය යන්නේ වයස අවුරුදු 95ක් වු තම දිවි ගමන නිමා කිරීමෙන් පසු 2016 වසරේදීය. මෙවර පැවැත්වෙන්නේ ඔහු මිය ගියාට පසු පැවැත්වෙන පළමු ලෝක පාපන්දු ශූරතාවයයි. තමන් නිර්මාණය කළ රන් කුසලානය නායකයින් 11දෙනෙකු වැළඳ ගෙන සතුටුවනු දශක හතරකට වැඩි කාලයක් ගැසනිකා බලා සිටියේ එම නායකයින්ටද වඩා සතුටිනි.

මෙවර රටවල් 32ක් නියෝජනය කරමින් එම රටවල ජාතික පාපන්දු කණ්ඩායම් රුසියාවේදී තරග වැදීමට නියමිතය. ඒ ලබන ජුනි 14 වැනිදා සිට ජුලි 15 වැනිදාදක්වාය. ජුලි 15 වැනිදා පාපන්දු රන් කුසලානය දිනා ගන්නේ ඉන් දක්ෂතම කණ්ඩායමයි. ඔවුන්ට රන් කුසලානය හිමිවේ. මෙවර කුසලානය හිමිකර ගන්නා නායකයාගේ සතුට දැකීමට ගැසනිකා නොමැති වුවත් ඉදිරියේදීද ලෝක පාපන්දු ශූරතාවය පිළිබඳව කියැවෙන සෑම අවස්ථාවකම ගැසනිකා නාමයද කියැවීම නිතැතින්ම සිදුවේ.

මෑතකදී මිය ගිය බරටෝනි ආයතනයේ ආදි කතෘවර ජෝර්ජියෝගේ දියණිය වන වැලැන්ටිනා ලෝසා ප්‍රකාශ කරන්නේ “එය දැවැන්ත ඉතාලියානු අභිමානයක් බවයි. කුසලාන තෝරා ගන්නා හැම විටකම සමාගමේ අප සියල්ලන්ටම මහත් ප්‍රීතියක් හා අභිමානයක් දැනේ. ඒ අප විසින්ම නිර්මිත දෙයක්වන නිසාම නොව එය මුලු ලොවටම අගය කළ හැකි නිසායි‘‘

කුසලානය නිර්මාණය කිරීම පිලිබඳව පිලිබඳව ගැසනිකාගේ අදහසත්, එම නිර්මාණයෙන් ලැබෙන අභිමානය පිලිබඳව රෝසාගේ ප්‍රකාශයත්, මරඩොනා සහ මතායස්ගේ සතුට සහ කඳුල අතරත් ඇත්තේ ජුලියස් රිමේට් රන් කුසලානයයි.

[ඩබ්.ආර්. කුමාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි