අල්ජසීරා ලෝකයටම හෙළිකරයි

 ඡායාරූපය:

අල්ජසීරා ලෝකයටම හෙළිකරයි

ක්‍රිකට් ලෝකය ෙදදරවූ බුකිකරුවන්ගේ ගාලු මෙහෙයුමෙන් එංගලන්ත සංචාරයට බලපෑම්

එය ක්‍රිකට් ලෝකයම කැලඹූ ප්‍රවෘත්තියක් - ඩේලි ටෙලිග්‍රාප් කියයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගයේදී බුකීකරුවන්ට අවශ්‍ය ආකාරයට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව සකස්කර දෙන බව ප්‍රකාශ කිරීම ක්‍රිකට් ලෝකයම කැලඹූ පුවතක් බව එංගලන්තයේ පළවන ඩේලි ටෙලිග්‍රාප් පුවත්පත සඳහන් කර තිබේ. මෙම වාර්තා වැඩසටහන සම්බන්ධයෙන් වාර්තාවක් පළකරමින් එම පුවත්පත සඳහන් කර ඇත්තේ මෙම ප්‍රවෘත්තිය හේතුවෙන් එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයද අවලංගු කිරීමේ අවදානමක් මතුව ඇති බවය.

අල්ජසීරා මාධ්‍ය ජාලයේ ජනමාධ්‍ය වේදියකු ඉන්දීය බුකිකරුවකු ලෙස වෙස්වලාගනිමින් අදාළ සාකච්ඡාව පවත්වා තිබේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නිලධාරියකුද, හිටපු හා වර්තමානයේ ක්‍රීඩකයකු වශයෙන් කටයුතු කරනු ලබන පුද්ගලයකුද අදාළ සාකච්ඡාව සඳහා සහභාගි වූ බව අල්ජසීරා මාධ්‍ය ජාලය සඳහන් කර ඇත.

අදාළ වාර්තා වැඩසටහන සැකසීමේදී අල්ජසීරා මාධ්‍යවේදියා විසින් රහසිගත ලෙස කැමරා යොදා ගනිමින් මෙම සියලු සංවාද පටිගත කර තිබිණි. මේ සඳහා හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොබින් මොරිස්, ඩුබායිහි සිට කටයුතු කරනු ලබන ඉන්දීය ව්‍යාපාරිකයකු වශයෙන් ගෞරව් රාජ්කුමාර් සහ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු තරංග ඉන්දික සහභාගිවී සිටි බව එම මාධ්‍ය ජාලය සඳහන් කළේය. තරග පාවාදෙන්නේ කෙසේද හා ඒ සඳහා උචිත වන අයුරින් තණතීරුව සකස් කරන ආකාරය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවෙන් අනාවරණය වන බව සඳහන්ය. ශ්‍රී ලංකා පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩකයකු වන තරිඳු මෙන්ඩිස්ද අදාළ වාර්තා වැඩසටහනේ එක් රූප රාමුවක සිටින බව පැවසිණි.

මෙම වාර්තා වැඩසටහනෙන් අනාවරණය වන කාරණා සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පැවැත්වීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයද මේ වන විට තීරණය කර ඇත. අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් ප්‍රකාශයක් කරමින්, ‘අපි මෙම සිද්ධිය ගැන තදින් සලකා බලනවා. අදාළ වාර්තා වැඩසටහනේ සියලු දර්ශන අපි ලබාගන්න සැලසුම්කරලයි තිබෙන්නෙ’ යැයි පවසා ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය වසරේ ජූලි මාසයේ පැවැති ටෙස්ට් තරගයේදී පිතිකරුවන්ට යෝග්‍ය වන ආකාරයට තණතීරුව සකස්කර තිබූ බව අනාවරණය වී ඇති අතර එම තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජය ලබාගත්තේය. මේ අතර 2016 වසරේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැති තරගයේදී සංචාරක කණ්ඩායම ලකුණු 229කින් පරාජය ලැබූ අතර දඟ පන්දු යවන්නන් හමුවේ ඕස්ට්‍රේලියානු පිලේ පිතිකරුවන් 18 දෙනෙක් දැවී ගියහ. ඔවුනට ඉනිම දෙකේදීම විශාල ලකුණු ගණනක් රැස්කිරීමට අවසර හිමිනොවීමත් සමඟ දැඩි විවේචනයකටද ලක්වීමට සිදුව තිබුණේය.

මෙලෙස ගාල්ල ක්‍රිකට් තණතීරුව සකස් කිරීම සඳහා පිටිය සකසන්නාට ඇමරිකානු ඩොලර් 37000ක් නැතහොත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ හැටකට ආසන්න මුදල් ප්‍රමාණයක් ගෙවීමට සිදුවන බවද අල්ජසීරා රූපවාහිසී සේවයේ විකාශය වූ වාර්තා වැඩසටහනේදී ප්‍රකාශ වී තිබේ.

මාතෘකා