හදවත් ආබාධය ටේලර්ගේ හදවත සොරාගත් ආකාරය

 ඡායාරූපය:

හදවත් ආබාධය ටේලර්ගේ හදවත සොරාගත් ආකාරය

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජේම්ස් ටේලර් සිහිපත් කරන විට අපේ මතකය මුලින්ම දිවයන්නේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ආරම්භ කළ ජේම්ස් ටේලර් වෙතය. නමුත් අප මෙම සටහන ලියන්නේ අතීතයේ අපට හමුවන එම අමරණීය ටේලර් සම්බන්ධයෙන් නම් නොවේ. ඔහු මෑත කාලීනව ලෝකයටම මතකයක් වූ ටේලර්ය.

වයස අවුරුදු 26ක ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටියදී හදවත් රෝගයකට ගොදුරු වීමෙන් ක්‍රිකට් පිටියෙන් සමුගත් මේ ජේම්ස් ටේලර් දැන් ක්‍රිකට් ක්‍රීඩා නොකළද එංගලන්තය මතු නොව ලෝකය තුළම යළි කතිකාවක් නිර්මාණය කරමින් කරළියට පිවිස තිබේ. එදා මුළු ලෝකයම විමතියට හා කනගාටුව පත්කරමින් හදවත් රෝගයක් හේතුවෙන් ක්‍රිකට් පිටියෙන් සමුගත් ටේලර් යළි මෙම සංවාදය නිර්මාණය කර ඇත්තේද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙනි. ඒ තමන්ගේ හෘදායාබාධය සම්බන්ධයෙන් වන කෘතියක් පළ කරමිනි.

වයස අවුරුදු 26 දී ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සනිටුහන් කළ ටේලර් එය සිදුකළේ 2016 වසරේදී පිටියේදී හටගත් හෘදයාබාධයක් හේතුවෙනි. ඒ අනුව තමන් තවදුරටත් ක්‍රිකට් පිටියේ නොරැඳෙන බව ඔහු ප්‍රකාශ කර සිටියේය. ඔහු එම තීරණයට එළඹුණේ සිතකින් නොවන නමුත් වෛද්‍යවරු ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලෙස ඔහුට නියෝග කළහ. ‘කට් ෂෝට් ’ යනුවෙන් ඔහු සිය අත්දැකීම් ඇතුළත් ස්වයං චරිතාපදානය ලියා ඇත.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයකට පෙර පැවැති ඇඟ උණුසුම් කිරීමේ අවස්ථාවේදී ටේලර් පළමුවෙන්ම රෝගී තත්ත්වයට ලක්ව තිබුණේය. පන්දුව විසිකරමින් සිටියදී ඔහුට යම් වෙනසක් දැනී තිබූ අතර තම කණ්ඩායමේ සගයකු වූ බ්‍රෙන්ඩන් ටේලර් දෙසට හැරී ටේලර් එහිදී ප්‍රකාශ කර තිබුණේ, ‘මගේ හදවතට අසීරුයි’ යනුවෙනි. එවිට ටේලර්ද ‘හදවතට අසීරු'දැයි ඔහුගෙන් විමසා තිබුණේය.

‘මම ඇඳුම් මාරු කරන කාමරයට ඇවිද ගියා. මගේ හදවත ඒ මොහොතේ පැයට කිලෝ මීටර් මිලියන ගණනක් වේගයෙන් ධාවනය වෙමින් තිබුණේ. මට ඇත්තටම දකින්න පුළුවන් වුණා මගේ පපුවේ ගැස්ම. පපු ප්‍රදේශය එහෙ මෙහේ චලනය වුණා. මගේ සම ඇදුණා එය පුපුරන්න වගේ තිබුණා. ඒක සම්පූර්ණයෙන් අස්වාභාවික බවයි වැටහුණේ. ඒක දැක්කම මට තවත් අසනීප වුණා. මම අමාරුවෙන් හුස්ම ගන්න පටන් ගත්තා.

එය උරාගත්තේ බොහොම අසීරුවෙනුයි. මට හරි ලොකු අමාරුවක් දැනෙන්න වුණා. මම වැසිකිළියෙදි මේ දේවල් පිට කරගන්න උත්සහ කළා. මගේ හිස වැසිකිළි පෝච්චියේ වැදුණෙ වමනය කරන්න යද්දියි. ඒත් කිසිවක් වමනය ගියේ නෑ. නොටින්ග්හැම්ෂයර් භෞතචිකිත්සක ජෝන් ඇල්ටි මාව පිටතට ගත්තා’ ටේලර් වැඩිදුරටත් සඳහන් කර ඇත.

‘මම මගේ වේදනාව ගැන ඔහුට කියන්න උත්සහ කළා. මම අමාරුවෙන් හුස්ම ගත්තෙ. මට මැරෙන්න උවමනා වුණා. ඒ තත්ත්වයෙන් ගැලවෙන්න තිබුණු එකම ක්‍රමය එයයි. මම ඇත්තටම හිතුවේ මම මියයමින් සිටි බවයි’ යැයි ටේලර් ප්‍රකාශකර ඇත.

අවසානයේ රෝහල් ගත කර හෘදය කෘත්‍රිම යන්ත්‍රයකට සම්බන්ධ කිරීමෙන් අනතුරුව ඔහුව වෛද්‍ය අධීක්ෂණය සිදුකර ඇති අතර පසුව අනාවරණයව තිබුණේ හදවතේ ගැස්ම සම්බන්ධයෙන් බලපෑම් කරනු ලබන රෝගාබාධයකට ඔහු මුහුණදී ඇති බවයි. ‘අන්තිමට මාව සැත්කමට භාජනය කළා. ඒ විධිහට තමයි වෛද්‍යවරුන් මගේ ජීවිතය ගලවාගත්තේ. එසේ නොවුණනම් මට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ’ යැයි ටේලර් පවසා ඇත.

මේ සියලු අත්දැකීම් ඇසුරෙන් කෘතියක් ලියා පළකරන ජේම්ස් ටේලර් දැන් අයි.සී.සී. ක්‍රිකට් ආයතනයට සම්බන්ධවී කටයුතු කිරීමට තීරණය කර ඇති අතර එළෙඹන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග දිරි ගන්වන ස්වේච්ඡා සේවකයකු වශයෙන් එක්වීමට සැලුසුම් කර ඇත. කලක් ලෝකය පුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ප්‍රීතියෙන් පුරවන්නට තරග වැදුණු ජේම්ස් ටේලර් අවසානයේ එම ක්‍රීඩාවේ දිරිගන්වන්නකු වශයෙන් කටයුතු කිරීමට ඉදිරිපත්වී සිටීම කොතරම් දෛවෝපගතද යන්න අපට අවබෝධ කර දෙයි. ‘කට් ෂෝට්’ජීවිතයකට මුහුණදිය හැකි භයංකරත්වයේ අත්දැකීම් ගෙනැහැර දැක්වෙන කෘතියක් වශයෙන් එය අපට නොකියවුවද තේරුම් ගැනීමට හැක.

මාතෘකා