අවංකකම නිසා රන් පදක්කම නැතිවුණා

 ඡායාරූපය:

අවංකකම නිසා රන් පදක්කම නැතිවුණා

නන්දෙට දැන් වයස කීයක් විතර වෙනවද?
1955 දී තමයි ඉපදුනේ


අම්මා තාත්තා එක්ක ගෙවුව කාලේ ගැන තියෙන මතකය ෙමාන ව‍ෙගයිද?
මම ඉපදුනේ බොරැල්ලේ. ඒ කාලේ  වැඩිය ඉස්කෝලේ ගියේ නැහැ. සෙල්ලම් තමයි වැඩිපුර කළේ.  තාත්තා වැඩ කළේ ප්‍රෙට්ට්‍රෝලියම් කෝපරේෂන් එකේ. අම්මා රැකියාවක් කළේ නැහැ. මම තමයි පවුලේ වැඩිමලා. මම ඉගෙන ගත්තේ රාජගිරිය හේවාවිතාරණේ. පහ වසරට විතරයි ඉස්කෝලේ ගියේ. ඉගෙන ගන්නවට වඩා හිත තිබ්බේ සෙල්ලමට. ඒ අතරේ  ඉස්කෝලේ ගමන නතර වුණා.


ඉගෙන ගන්න කියලා ගෙදරින් බල කළේ නැද්ද?
මොකෝ නැත්තේ.ඒත් සේරටම වඩා සෙල්ලම ලොකු වුණා. හැබැයි අම්මයි තාත්තයි කිව්වා පස්සේ කාලෙක තේරෙයි කියලා. දැන් තමයි ඒ අය කිව්ව දේවල් තේරෙන්නේ.


මොන වගේ ක්‍රීඩාද කළේ?
ෆුට් බෝල්, ක්‍රිකට් ගැහුවා. ගොල්ෆ් ක්ලබ් එකට ගියාට පස්සේ කට්ටිය ගොල්ෆ් ගහද්දී බෝල ඇහුලුවා.


ඒ මොන කාලේද?
1963 තමයි ගොල්ෆ් ක්ලබ් එකට යන්න පටන් ගත්තේ.


බෝල අහුලපු කතාව මොකක්ද?
 එතකොට මගේ වයස අවුරුදු 08යි. ඒ කාෙල් එක බෝලයක් ඇහුලුවොත් සත විසිපහක් දෙනවා. ග්‍රවුන්ඩ් එකට කාටවත් එන්න දෙන්නේ නැහැ. සුද්දෝ තමයි වැඩිපුර ක්‍රීඩා කළේ. හරි අමාරුවෙන් තමයි අපි ගියේ. මුරකාරයා ඇතුළට එන අයට ගහලා එළවනවා. ඉස්සර ගොල්ෆ් පිට්ටනි කියන්නේ කැලෑවල්. අපි සුද්දෝ ගහන බෝල අහුලලා එයාලට ගෙනත් දෙනවා.


බෝල අහුලලා දවසට කීයක් විතර හෙවුවද? 
ලොකු ගාණක් නැහැ. සත විසිපහක් හම්බුණාම ඒ කාලේ හැටියට ඒක අපිට ලොකු ගාණක්.


ඒ සල්ලිවලින් මොනවද කළේ?
කඩේට ගිහින් කනවා බොනවා. වෙන දේවල් කළේ නැහැ.


බෝල අහුලපු නන්දේ, ඊළඟට මොකද කළේ?
ඊට පස්සේ කාලයක් ගිහින් මාත් ගොල්ෆ් සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඊටත් කළින් ගොල්ෆ් ක්‍රීඩකයින්ගේ භාණ්ඩ රැගෙන යන්නෙකු විදියට කටයුතු කළා.


ඒ මොන අවුරුද්දෙ ද?
1979 තමයි කැඩී කරන්න මුලින්ම පටන් ගත්තේ.


කවුද ඒකට උදව් කළේ?
මම ක්ලබ් එකේ බෝල අහුලන කෙනෙක් විදිහට හිටිය නිසා ගොඩක් අය මාව දැනගෙන හිටියා. පස්සේ  කැඩී ජොබ් එක ලැබුණා.


එතකොට ගොල්ෆ් ගහන්න කියලා ආසාවක් ඇතිවුණේ කවදද?
ක්‍රමයෙන් මම ගොල්ෆ් ක්‍රීඩාවට ගොඩක් ආස කළා. දියුණු වෙන්න තියෙන එකම ක්‍රමේ ගොල්ෆ් ක්‍රීඩාව තමයි කියලා මට හිතුනා. ඒක හිතට ධාරණය කර ගත්තා.


ගොල්ෆ් ගහන්න කියලා දුන්නේ කවුද?
කවුරුත් ඉගැන්නුවේ නැහැ. මමම තමයි ඉගෙන ගත්තේ. මුලින්ම මම සෙල්ලම් කළේ වෙල්අත්ත ලීයක් කපාගෙන. වෙල්අත්ත කියන්නේ වෙලේ තියෙන පිත්තක්.


එතකොට, මුලින්ම ගොල්ෆ් පිත්තක් අරන් දුන්නේ කවුද?
කවුරුත් අරන් දුන්නේ නැහැ. පිත්තක හෙඩ් එකක් නිකන් හම්බවුණා. යකඩයක් හොයාගෙන වෑල්ඩින් කරලා හදාගත්ත පිත්තෙන් තමයි සෙල්ලම් කළේ. එක පාරක් ගැහුවම පිත්ත ඇද වෙනවා. ඊට පස්සේ ඒක පොළොවේ ගහලා කෙලින් කරගෙන ආයෙත් ගහනවා. එහෙම සෙල්ලම් කරගෙන යද්දි කැඩී කරන කාලේ හම්බවුණ අජිත් වනිගසේකර කියලා මහත්තයෙක් මට උදවු කළා. එයාගේ බඩු සෙට් එකෙන් තමයි මුලින්ම ටූනමන්ට් ගහන්න පටන් ගත්තේ. එහෙම සෙල්ලම් කරගෙනඉන්නකොට ඇමරිකාවේ ඉදන් ආපු සුද්දෙක් මට දුන්නා ගොල්ෆ් සෙට් එකක්. එයා වැඩ කළේ තෙල් සංස්ථාවේ. ඊට පස්සේ දිගටම මට ගොල්ෆ් සෙට් ලැබෙන්න පටන් ගත්තා.


ඔබට සහයෝගය දුන්න පිරිසගේ නම් කිව්ෙවාත්?
නම් වශයෙන් කියන්න ගියොත් ගොඩාක් ඉන්නවා. ඒ හැමෝටම ස්තුතියි.


ආධුනික ගොල්ෆ් තරඟාවලියකට මුලින්ම සම්බන්ධ වුණේ මොන කාලෙද?
88 තමයි පටන් ගත්තේ. ඒ කාලේ හොඳ ඇෙම්චර් කෙනෙක් ලංකාවේ හිටියේ නැහැ. ඒ නිසා මට සෙල්ලම් කරන්න කතා කළා. ගහපු හැටියෙම ශ්‍රී ලංකා ඕපන් එක දිනුම්. ඊට පස්සේ මැලේසියා ගියා. එහේ තිබ්බ ඕපන් එකත් දිනුවා. ඊට පස්සේ සිංගප්පූරු ගියා. එකත් දිනුම්. ඉන්දියාවෙ ඕපන් එක දින්නා. පකිස්ථාන් ගිය වෙලාවේ එකේ දෙවැනියා වුණා. ඊට පස්සේ නැවතත් සිංගප්පූරු ගියා. එකෙත් අනුශූරයා වුණා. එහෙම දිනාගෙන එදිදි ක්ලබ් එකෙන් හොඳ පිළිගැනීමක් ලැබුණා.


සාමාන්‍යයෙන් ගොල්ෆ් කියන්නේ ධනපතියන්ගේ ක්‍රීඩාවක්. ඔබ එක දිගට දිනද්දි ඒ අය ප්‍රතිචාර දැක්වුවේ මොන විදියටද?
සාමාන්‍ය ෙයන් ලංකාවේ ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකක් හැදුවට පස්සේ ගොල්ෆ් ගහන්න පුළුවන් වෙන්නේ ඊට සම්බන්ධ අයට විතරයි. පිට හැමෝටම ගහන්න නම් ආණ්ඩුවෙන් ගොල්ෆ් ග්‍රවුන්ඩ් එකක් හදලා දෙන්න ඕන අලුත් අයට පුරුදු වෙන්න. හැබැයි එහෙම හැමෝම ගහන්න පටන් ගත්තොත් එක් ගොල්ෆ් කෝස් එකක් වෙන්නෙත් නෑ. ඒක ක්‍රීඩාවට කරන අපරාධයක් විතරයි. එහෙම බලද්දි මේ ක්‍රීඩාවට පන්තිමය පදනමක් හිමිවීම පිළිබඳ දෙපැත්තක් තියෙනවා. ඒ ඔක්කොම අපි බැලිය යුතුයි. මම දිනලා එද්දි හැමෝම වගේ මට සුභ පැතුවා.


ඔබ 1990 බීජිංවල පැවති ආසියානු ක්‍රීඩා උළෙලදි රිදී පදක්කමක් දිනා ගන්නවා. දහඅට වැනි වළ තෙක්ම සිගේසි මරියානා එක්ක ඔබ තියුණු සටනක නිරත වුණා. දෙන්නම සම ලකුණුවල හිටියේ. අතේ තිබුණු රන් පදක්කම ඔබ එදා නැතිකරගත්තා කියලා සමහරු කියනවා.
දහඅට වෙනි වළ දක්වාම අපි දෙන්නා ටයි ටයි හිටියේ. පස්සෙ දෙන්නා ප්ලේ ඕෆ් කෙරුවා. මරියානා ප්ලේ ඕෆ් එකේ මුලින්ම ගැහුවා. ඊට පස්සේ මම ටී ඕෆ් කෙරුවා. එයා ගහපු පාර කැලේට ගියා. මම දැක්කා ඒ බෝලෙ වැටෙන තැන. බෝලඅහුලලා හොඳ පුරුද්දක් මට තිබුණා. එයා බෝලේ හෙව්වත් හොයාගන්න බැරි වුණා. ඒත් මම අවංක ක්‍රීඩකයෙක් නිසා බොලේ හොයාගෙන ගිහින් පෙන්නුවා. පස්සේ එයා මට ස්තූති කෙරුවා. එයා ප්ලේ අවුට් එකක් දැම්මා වළ මැද්දට.  පස්සේ එයා ගහපු හතරවැනි පහර කෙළින්ම වළට ගියේ. මම හතරවැනි පහර මිස් කළා. එයාට ගෝල්ඩ් මෙඩ්ල් එක ලැබුණා. මට සිල්වර් මෙඩ්ල් එක ලැබුණා. ලංකාවේ මේ වගේ මනුස්සයොත් ඉන්නවා කියලා පස්සේ එයා මට ස්තුති කළා.


ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් ගෙනාවට පස්සේ නන්දෙට මොනවද ලැබුනේ?
ලොකු දේවල් ලැබුණේ නැහැ. මෙඩ්ල් එක විතරයි ඉතුරු වුණේ.


එදා රන් පදක්කකම දිනපු මරියානා පසුව ලෝකේ හොඳම 10 දෙනා අතරට ආවා. ඔබට මොකද වුණේ?
ඊට පස්සේ මම ජපානේ තිබ්බ වෘත්තිමය තරඟාවලියට සුදුසුකම් ලැබුවා. එකේ මුල් ටූනමන්ට් එකේ තුන්වෙනියා වුණා. ඊට පස්සේ අසනීප වුණා. මට හැදුනේ රූමටික් ආතරයිටීස්. එතනින් පස්සේ තමයි මම වැටුනේ. දැන් මට වකුගඩු අමාරුවත් හැදිලා. ඒ නිසා දැන් ගෙදරට වෙලා ඉන්නවා.


ලෙඩ වුණාට පස්සේ ක්‍රීඩාව නතර කළාද?
ටික කාලයක් සෙල්ලම් කළා. දැන් ‍සෙල්ලම් නොකළත් ක්ලබ් එකෙන් වැටුප මට ගෙවනවා. ඒකට මම ක්ලබ් එකට ස්තූති කරනවා.


ඔබ ආධුනික ක්‍රීඩකයින් පුහුණු කරනවාද?
ඉස්සර කළා. ඒත් දැන් මම පුහුණු කරන්න යන්නේ නැහැ. දැන් ක්ලබ් එක පැත්තේ නිකං ගිහින් එනවා.


ගොල්ෆ් ක්‍රීඩකයෙකුට ඇහැ කොහොමද වැදගත් වෙන්නේ?
හොඳ ඇහැක් අවශ්‍යයි. ඒ තිබුණත් ආවට ගියාට සෙල්ලම් කරන්න බැහැ. හොඳට මහන්සි වෙන්න ඕන.


ඔලුව මොනතරම් වැදගත් ද?
හැමදේටම ඔලුව වැදගත්. හිතුනු පළියට මේ ක්‍රීඩාව කරන්න බැහැ. ඇඟෙන්ම ඒක පැමිණිය යුතුයි.


පුතා මිතුන් ගැන මොකද කියන්නේ?
සතුටුයි. එයා ඉහළ මට්ටමෙන් ක්‍රීඩා කරනවා. ආසියානු තරඟාවලියට සම්පූර්ණ අවස්ථාව හිමිකරගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වුණේ මිතුන්. ඉන්දියාවෙදිත් එයා තරඟ කිහිපයක්ම දිනුවා. 2009දි චීනයේ මිෂන් හිල් හිදි ආසියා ශාන්තිකර ආධුනික ශූරතාව මිතුන් දිනුවා. 2010දි ඔස්ට්‍රේලියානු විවෘත තරඟාවලියට ගහලා එහෙම කරපු පළමු ශ්‍රි ලාංකිකයා බවට පත්වුණා. 2012 ආසියානු තරඟාවලියේ සිංගප්පූරු ක්ලැසික් තරඟාවලියෙදි එයා දෙවැනියා වුණා.


ලංකාවේ ගොල්ෆ්වල ප්‍රමිතිය දියුණු වෙන්නේ නැත්තේ ඇයි?
එතන තමයි ප්‍රශ්නේ. ගොල්ෆ් සම්බන්ධයෙන් බලධාරීන්ගේ කෙළින් වචනයක් නැහැ. අනේ පවු කියලා තමයි කියන්නේ. ක්‍රීඩාවලට අනේ පවු කියලා දෙයක් නැහැ


ලංකාවේ ඉස්සරහට හොඳ ගොල්ෆ් ක්‍රීඩකයෝ බිහිවෙයිද?

අනේ පවු... කියන වචනේ අයින් කෙරුවොත් පුළුවන්. එහෙම නැත්නම් බැහැ.


නන්දෙගෙ අනිත් දරුවො මොකද කරන්නේ?
පොඩි දුව තාම ඉගෙන ගන්නවා. ලොකු දුව බැඳලා ඉන්දියාවේ. එයා දොස්තර කෙනෙක්.


අද ඉන්න තැන ගැන සතුටුවෙනවද?
මගේ ජීවිතේ මම හොඳට පවත්වාගෙන යනවා. ඒ ගැන සතුටු වෙනවා. අපි සෙල්ලම් කරන කාලේ කෙළින් හිටියේ. කාගෙවත් පදේකට නැටුවේ නැහැ. ඒ නිසයි අද මේ තත්ත්වෙන් ඉන්නේ. ඒත් අද කාගේ ළඟවත් කෙලින් වචනයක් නැහැ. ඒ නිසා ගොල්ෆ් දියුණු කරන්න බැහැ.


ලංකාව ඔබෙන් ප්‍රයෝජනයක් ගත්තා කියලා හිතනවද?
ඔව්. රට මගෙන් ගොඩාක් ප්‍රයෝජන ගත්තා. මමත් රටට පුළුවන් උපරිමේ කළා. නන්දසේන පෙරේරා කිව්වාම ගොඩදෙනෙක් දන්නවා. ඉන්දියාවේ මට කියන්නේ සැන්ඩි පෙරේරා කියලා. ඉන්දියාවෙන් කටිටිය මෙහේ එනකොට පරණ අය කියන්නේ මගෙන් ට්‍රික්ස් ඉගෙන ගන්න කියලයි. ඒ තරමට මම ගහපු පාරවල් පෙන්නලා තියෙන්නේ. ඕන නම් එන්න. ආවොත් දෙන්නම් ටිප් එක. එපානම් නිකං ඉන්න. මට කමක් නැහැ. 

මාතෘකා