ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාව තවමත් හය

 ඡායාරූපය:

ටෙස්ට් පිටියේ ශ්‍රී ලංකාව තවමත් හය

දික්වැල්ල - ලක්මාල්- දිල්රුවන් - ළහිරු - කසුන් ශ්‍රේණි සටහනේ

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් වීමත් සමඟ අන්තර් ජාතික ක්‍රිකට් සමුළුවේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව තමන්ගේ පෙර ස්ථානය තවදුරටත් තහවුරු කරගැනීමට සමත්ව තිබේ. ඒ අනුව පාකිස්තානයට ඉහළින් හයවැනි ස්ථානයේ රැඳී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව ඇත. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද තරගාවලිය නිම වන විට තමන් රැඳී සිටි නව වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටී. ඔවුන්ට වඩා ප්‍රසාද ලකුණු තුනක් ලබා ඉදිරියෙන් සිටින කණ්ඩායම වන බංග්ලාදේශය සමඟ ඉදිරියේදී පැවැත්වෙන තරගාවලියත් සමඟින් එම ශ්‍රේණි සටහනේ ඔවුන් රැඳී සිටින ස්ථානය තීරණය වීමට නියමිතය.

යම් හෙයකින් ඔවුන් එම තරගාවලිය 1-0 ක් ලෙස හෝ 2-0ක් ලෙස ජය ගැනීමට සමත් වුවහොත් බංග්ලාදේශය ඉක්මවා යාමට අවස්ථාව උදාවනු ඇත. එහෙත් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වන්නේ නම් ශ්‍රේණි සටහනේ ඔවුනට සිදුවන්නේ බංග්ලාදේශයට වඩා පිටුපසින් රැඳී සිටීමටය. එහෙත් බංග්ලාදේශය 2-0ක් ලෙස එම තරගාවලිය ජයගන්නේ නම් ඔවුන් ප්‍රසාද ලකුණු 83ක් ලබා කොදෙව් පිලට වඩා පෙරමුණේ රැඳී සිටීමටත්, 1-0ක් ලෙස ජයගන්නේ නම් ප්‍රසාද ලකුණු 80ක් ලබා ඉදිරියෙන් සිටීම සඳහාත් සුදුසුකම් සපුරනු ඇත.

ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව 37 වැනි ස්ථානයටත්, දිල්රුවන් පෙරේරා 85 වැනි ස්ථානයටත් ස්ථානගතව සිටී.

පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 28 වැනි ස්ථානයට පැමිණීමට සුරංග ලක්මාල් සමත්ව ඇත. එය ඔවුගේ ක්‍රීඩා ජීවිතයේ ලද ඉහළම ශ්‍රේණිගත වීමයි. ළහිරු කුමාර එහි පියවර දහයක් ඉදිරියට පැමිණෙමින් 41ක් වැනි ස්ථානයටත්, කසුන් රාජිත 44 වැනි ස්ථානයටත් ශ්‍රේණිගතව තිබේ.

පිතිකරු ශ්‍රේණි සටහනේ ඉහළින්ම සිටින ශ්‍රී ලාංකිකයා වශයෙන් දිනේෂ් චන්දිමාල් අයි.සී.සී. ශ්‍රේණි සටහනේ නව වැනි ස්ථානයේ පසු වෙයි.

මාතෘකා