ක්‍රිකට් නිසිබලධරයකු පත්කිරීම ගැන අයි.සී.සී. ප්‍රධානියාගෙන් සුබවාදී ප්‍රතිචාර

 ඡායාරූපය:

ක්‍රිකට් නිසිබලධරයකු පත්කිරීම ගැන අයි.සී.සී. ප්‍රධානියාගෙන් සුබවාදී ප්‍රතිචාර

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා නිසි බලධරයකු පත්කිරීම සම්බන්ධයෙන් අයි.සී.සී. සභාපති ශංකර් මනෝහර් මහතා සුබවාදී ප්‍රතිචාර දැක්වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පැවසීය. ඊයේ පෙරවරුවේ ඩුබායිහි දී අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලන ප්‍රධාන කාර්යාලයේ පැවැති හමුවේදී ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හා අයි.සී.සී. ප්‍රධානියා අතර පැවැති හමුවේදී මේ බව සඳහන්වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයකට අනුව දැක්වුණේ අදාළ හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අයි.සී.සී. ප්‍රධානියා දැනුවත් කළ බවය. අධිකරණ නියෝගයකට අනුව ක්‍රිකට් නිලවරණය ආරම්භයේදී සැලසුම් කළ ආකාරයට පැවැත්වීමට නොහැකිවූ බවද එහිදී ෆයිසර් මුස්තාපා මහතා පෙන්වා දී තිබේ. ඒ් අනුව පැවැති පාලනය වෙනුවට අතුරු පාලනයක් පත්කිරීමට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා නිසිබලධරයකු පත්කිරීමට සිදුව තිබූ බවද ඔහු එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් සමුළු සභාපතිවරයාට දැනුම් දී ඇත. ඒ් අනුව තමන් නිසිබලධරයකු යටතට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය රැගෙන ආ බව පවසා ඇති අමාත්‍යවරයා, අධිකරණ තීරණය ප්‍රකාරව හැකි ඉක්මනින් ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බවද ප්‍රකාශක තිබේ.

මෙහිදී ෆයිසර් මුස්තාපා මහතා පෙන්වාදී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වාගෙන ගිය පරිපාලන රිද්මයේ වෙනසක් සිදුකිරීමට කිසිවිටකත් රජයක් වශයෙන් අපේක්ෂා නොකරන බවය. ක්‍රිකට් ක්‍රීඩාවේ උද්වේගකර තත්ත්වය ප්‍රේක්ෂක ජනතාවට ඒ් අයුරින්ම ලබාදෙමින් ඒකී පාලනය යථා තත්ත්වයට ගෙන ඒ්ම සම්බන්ධයෙන්ද ඔහු එහිදී කරුණු දැක්වූ බවයි ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙම සාකච්ඡාවේදී අයි.සී.සී. සභාපතිවරයා නව ක්‍රීඩා අමාත්‍යවරයාට සුබ පැතීම සඳහා මෙය අවස්ථාවක් කරගන්නා බව ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාර්ථක පිළිතුරක් ලබාදෙමින් එහි පරිපාලනය ක්‍රමවත් කිරීමට අමාත්‍යවරයා කඩිනමින් කටයුතු කරනු ඇති බවටද ඔහු විශ්වාසය පළකළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය. මෙම හමුව සඳහා ක්‍රීඩා අමාත්‍යංශයේ නිසි බලධරයා වශයෙන් ලේකම් කමල් පත්මසිරි, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මාතෘකා