සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලිය

 ඡායාරූපය:

සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලිය

ඉසිපතනය පැරදූ රාජකීයන්ට විශිෂ්ට ජයක්

 

හැව්ලොක් ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා පැවති රග්බි තරගයෙන් ඉසිපතන විද්‍යාලය ලකුණු 41-07ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය සිංගර් කුසලාන අන්තර් පාසැල් රග්බි තරගාවලියේ සිය අපරාජිතභාවය රැක ගැනීමට සමත් විය.

තරගය ආරම්භ කිරීමෙන් පසු ඉක්මනින්ම ක්‍රියාත්මක වූ රාජකීයෝ ලකුණු ගැනීම ඇරඹූහ. හතරවැනි මිනිත්තුවේ රාජකීය නායක සාබිත් ෆෙරෝස් සහ 12 වැනි මිනිත්තුවේදී සසිත සියත් විසින් වාර්තා කරන ලද උත්සාහක දිනුම් අතරින් දුලාන් ගුණවර්ධනට ප්‍රවර්ථනය කිරීමට හැකි වූයේ සියත්ගේ උත්සාහක දිනුම පමණි. නැවත 26 වැනි මිනිත්තුවේදී ගුලෙයිබ් හුසේන් සහ 32 වැනි මිනිත්තුවේදී ඉඳුවර බිම්සර ලබා ගත් උත්සාහක දිනුම් දෙකද ප්‍රවර්ථනය කිරීමට ගුණවර්ධන අසමත් විය. තරගය ආරම්භ කිරීමට පෙර තරගය තියුණු එකක් වනු ඇතැයි බලාපොරොත්තු වුවද, එම බලාපොරොත්තු සුන් කරමින් පළමු අර්ධය අවසන් වන විටම රාජකී පිල ලකුණු 22-0ක් ලෙස පෙරමුණේ පසුවිය.

තවත් මිනිත්තු අටක් ගත වන විට තමන්ගේ දෙවැනි සහ තෙවැනි උත්සාහක දිනුම්ද වාර්තා කිරීමට රාජකීය නායක ෆෙරෝස් සමත් විය. එම උත්සාහයන් දෙකටම සාධාරණය ඉෂ්ට කිරීමට ප්‍රවර්ථනයෙන් හැකිවූ නිසා ලකුණු තත්ත්වය රාජකීය 36, ඉසිපතන 00 ලෙස ලකුණු පුවරුවේ දැක්වුණි. ඊට තවත් මිනිත්තු 15කට පමණ පසු රජිඳු ජයසූරිය රාජකීයන්ගේ හත්වැනි උත්සාහක දිනුමද වාර්තා කළේය. එහෙත් ප්‍රවර්ථනය අසාර්ථක විය.

තරගය අවසන් වීමට මිනිත්තු දහයක් පමණ ඉතිරිව තිබියදී තම එකම උත්සාහක දිනුම ලබා ගැනීමට ඉසිපතන කණ්ඩායමට හැකි විය. මනෝජ් ගෞතම් එහි හිමිකරුවා විය. මනෙල්ක රුබේරු එහි ප්‍රවර්ථනය සාර්ථකව සිදු කළ නිසා තරගය අවසන් වූයේ ලකුණු 41-07ක් ලෙස රාජකියන්ට විශිෂ්ට ජයග්‍රහයක් ලබා දෙමිනි.

ඡායා [සමන් මෙන්ඩිස්]

මාතෘකා

ජනප්‍රිය ලිපි