ක්‍රිකට් වෙනුවෙන් නිසිබලධරයෙක් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි පත් කෙරේ

 ඡායාරූපය:

ක්‍රිකට් වෙනුවෙන් නිසිබලධරයෙක් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා නිලවරණය පැවැත්වෙන තුරු නිසි බලධාරියකු යටතට පත්කිරීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඊයේ කටයුතු කළේය. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කමල් පත්මසිරි මහතා පත්කරන බව ඊයේ රාත්‍රී 7.00ට ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේය. අදාළ තීරණය ලබාගැනීමට ප්‍රථම නිලවරණයට ඉදිරිපත්ව සිටි පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබිණි.

ඒ අනුව ඊයේ පෙරවරුවේ තිලංග සුමතිපාල මහතාගේ පාර්ශ්වයට අයත් නිලධාරීන් සමඟ මෙන්ම නිශාන්ත රණතුංග මහතා ප්‍රමුඛ පාර්ශ්වයන් සමඟද සාකච්ඡා කළ බව ක්‍රීඩා අමාත්‍යවරයාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය. එම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ෆයිසර් මුස්තාපා මහතා කටයුතු කර තිබිණි. ඉන් අනතුරුව එළැඹි අවසන් තීරණය මෙලෙස ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත්කළ බව අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ක්‍රිකට් නිලවරණය හැකිතාක් කඩිනමින් පැවැත්වීම තම අපේක්ෂාව බවය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට්ල ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා තවදුරටත් පරිපාලන කටයුතු මගින් එම ආයතනය පවත්වාගෙන යාම සඳහා සහය දක්වනු ඇතැයි කියා සිටියේය. ඊට අමතරව පැවැති පරිපාලනයේ නිලධාරීන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවත්වාගෙන යාම සඳහා නිලවරණය තෙක් සහය පළකරනු ඇතැයි සිය විශ්වාසය පළ කළේය.

කෙසේ නමුත් ඊයේ දිනයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිලධාරීන් විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියේ තවදුරටත් පරිපාලන කටයුතු සිදුකිරීමට තමන්ට බලපෑමක් නොමැති බවයි. අධිකරණ තීන්දුව මගින් නව නිලවරණය පැවැත්වීම හා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පමණක් වාරණයක් පනවා ඇති බව හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

පසුගිය මාසයේ 31 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබූ අතර ඒ සඳහා ඉදිරිපත්ව සිටි නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශ්වය විසින් අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකර තිබුණේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට නිලවරණය සඳහා ඉදිරිපත්වීම තහනම් කරන ලෙස ඉල්ලීමක් කරමිනි. අදාළ පෙත්සම සළකාබැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා විනිසුරු අර්ජුන් ඔබේසේකර යන මහත්වරුන් විසින් නිලවරණය වළකාලමින් අතුරු නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබුවේය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විධිමත් කිරීම සඳහා මෙලෙස නිසි බලධරයකු පත්කිරීමට කටයුතු කෙරිණි.

[කසුන් ඉරුගල්බණ්ඩාර] ඡායා [රුක්මාල් ගමගේ]

මාතෘකා