දිමුත් කරුණාරත්න ලොව හොඳම පිතිකරුවන් හත අතරට

 ඡායාරූපය:

දිමුත් කරුණාරත්න ලොව හොඳම පිතිකරුවන් හත අතරට

පන්දුයවන්නන් අතරින් ජේම්ස් ඇන්ඩර්සන් ඉදිරියට

දකුණු අප්‍රිකාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ඉනිම් දෙකේදීම අර්ධ ශතක වාර්තා කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න අයි. සී. සී. ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ ස්ථාන තුනක් පසුකරමින් 7වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටී. මේ අනුව ඔහු හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 754කි.

මෙයට පෙර පළමු ටෙස්ට් තරය අවසානයේ දී ප්‍රසාද ලකුණු 720 හිමිකර ගනිමින් 10වැනි ස්ථානයේ රැදී සිටීමට කරුණාරත්න සමත් විය. ශ්‍රී ලංකා නිත්‍ය ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ද එක් ස්ථානයකින් ඉදිරිය පැමිණීමට සමත්ව ඇත්තේ 8වැනි ස්ථානය හිමිකර ගනිමිනි. ඔහු එසේ ශ්‍රේණි සටහනේ ඉදිරියට පැමිණ ඇත්තේ එම සටහනේ ඉදිරියෙන් සිටි ඩීන් එල්ගර් හා ඒඩ්න් මාර්ක්රාම් නව වැනි හා දස වැනි ස්ථාන දක්වා පසුබැස ඇති හෙයිනි.

එසේම පන්දු යවන්නන් අතර අටවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රංගන හේරත් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 791 දක්වා වැඩිකර ගනිමිනි. දකුණු අප්‍රිකාව සමග පළමු තරගය අවසානයේදී ප්‍රසාද ලකුණු 765ක් ලබමින් ඔහු සිටියේ 9වැනි ස්ථානයේය. මේ අතර පන්දු යවන්නන් අතර අංක එක ස්ථානයේ රැඳී සිටි කගිසෝ රබාඩා එහි දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර එංගලන්ත ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පළමු ස්ථානය දක්වා ඉහළ ගොස් ඇත. වර්නන් පිලැන්ඩර් සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.

එසේම දිල්රුවන් පෙරේරා ද 25 වැනි ස්ථානයේ සිට 23 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ අතර පළමු 25 දෙනා අතර සිටින දෙවැනි ශ්‍රී ලාංකික පන්දු යවන්නා දිල්රුවන්ය. තුන් ඉරියව් ටෙස්ට් ක්‍රීඩකයන් අතර පහළොස් වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රංගන හේරත් සමත්ව ඇත. එහි දසවැනි ස්ථානය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩක දිල්රුවන් පෙරේරාටය.

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමත් සමගම අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 97 දක්වා ඉහළ නංවා ගැනීමට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ද සමත්ව ඇත.

මාතෘකා