රුසියන් බිමේදී ප්‍රංශ විප්ලවය | ඇස පාදන රැස


රුසියන් බිමේදී ප්‍රංශ විප්ලවය

 ඡායාරූපය:

රුසියන් බිමේදී ප්‍රංශ විප්ලවය

සුවහසක් පාපන්දු ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් සහ ප්‍රංශ ජාතිකයින් ආඩම්බරයට පත් කරමින් විසි එක් වැනි ලෝක පාපන්දු ශූරතාවය දිනා ගැනීමට ප්‍රංශය ඊයේ රාත්‍රියේ මොස්කව් නුවර ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී සමත් විය.

ඒ පළමු වරට පාපන්දු ලෝක ශූරතා අවසන් තරගයකට සුදුසුකම් ලැබූ පෙරලිකාර ක්‍රොඒෂියාව පරාජය කරමිණි.

අවසාන තරගය නැරඹීම සඳහා ලුෂ්නිකි ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයින් මෙන්ම තරගය රූපවාහිනී තිරය මත නැරඹූ පාපන්දු ලෝලීන්ද මෙයට පෙර බලාපොරොත්තු වූයේ මෙම රටවල් දෙක අතර අවසාන තරගයක් නොවේ. නමුත් කිසිවෙක් බලාපොරාත්තු නොවූ ආකාරයට ඉදිරියට පැමිණියේ ප්‍රංශය සහ ක්‍රොඒෂියාවයි.

තරගාවලිය ආරම්භ කිරීමට පෙර ශූරතාවය ජය ගැනීම ස ඳහා ප්‍රංශයට පැවති සම්භාවතාවය 11/2ක් වූ අතර ක්‍රොඒෂියාවට එය 40/1ක් විය.

මෙම රටවල් දෙකම මූලික වටයේ තරවලදී අපරාජිතව සිටි කණ්ඩායම් දෙකකි. ඉන් පසුව පියවරින් පියවර 16 දෙනාගේ වටයේ සිට අර්ධ අවසන් පූර්ව වටයටද, අනතුරුව අවසාන පූර්ව වටයටද පැමිණි අතර කණ්ඩායම් දෙක පැමිණි දුෂ්කර වූ ජයග්‍රාහී ගමනේ අවසානය සනිටුහන්ව තිබුණේ ඊයේ රාත්‍රියේදීය.

ප්‍රංශය තෙවැනි වතාවට අවසාන මහා තරගයකට මුහුණ දුන් අතර ක්‍රොඒෂියාව තරග වැදීමට සූදානම් වූයේ තමන්ගේ පළමුවැනි අවසාන මහා තරගයටය. එසේම 1962 චෙකොස්ලොවැකියාවට පසු ලොක පාපන්දු තරගාවලියේ අවසන් තරගයකට පැමිණි පළමු නැගෙනහිර යුරෝපා කණ්ඩායම ක්‍රොඒෂියාවයි.

තරගය ආරම්භ කිරීමට දින කීපයක සිටම ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තරකර තිබූ අතර විසි එක් වැනි පාපාන්දු මෞලි මංගල්‍යයේ අවසානයද ඉතා සාර්ථකව අවසන් කිරීම සත්කාරක රුසියාවේ පළමු බලාපොරොත්තුව විය. විශේෂයෙන්ම තරගාවලියට පෙර සිටම ත්‍රස්ත සංවිධාන මගින් සුපිරි ක්‍රීඩකයින් මරා දමන බවට සහ ක්‍රීඩාංගණ ලේ විල් බවට පත් කරන බවටඑල්ලකර තිබූ තර්ජන හේතුවෙන් එසේ ආරක්ෂාව තරකර තිබූ අතර ක්‍රීඩකයින්ගේ මෙන්ම පාපන්දු ලෝලීන්ගේද ආරක්ෂාවට විශේෂ ආරක්ෂක පියවරයන් ගෙන තිබුනි.

ආර්ජන්ටිනා ජාතික විනිසුරු 43 හැවිරිදි නෙස්ටර් පිටානා ගේ සංඥාව අනුව තරගය ආරම්භ වූ අතර දෙපිලම ඉතා වේගවත් ලෙස පන්දුව තමන්ට අවශ්‍ය ගෝල් සීමාව කරා රැගෙන යාමට උත්සාහ දැරීය.

පළමු තරගවලට වඩා වේගවත් ලෙස ක්‍රොඒෂියාව ක්‍රීඩා කළ අතර ප්‍රංශය පළමු විනාඩි කිහිපය ඉතා පරිස්සම් සහගත ක්‍රීඩා විලාශයක් අනුගමනය කළහ.

එහෙත් තරගයේ 18 වැනි මිනිත්තුවේදී ප්‍රංශයට නිදහස් පහරක් හිමි විය. ඇන්තනී ග්‍රීස්මාන් විසින් එල්ල කළ එම නිදහස් පහර ක්‍රොඒෂියා ප්‍රහාරක මාරියෝ මැඩ්සුකිච්ගේ හිසේ වැදී ගෝලය තුලට ඇතුලු වීම නිසා ප්‍රංශයට පළමු ගෝලය ක්‍රොඒෂියාව විසින් පරිත්‍යාග කරන ලදී.

එයට හරියටම මිනිත්තු 10කට පසු ක්‍රොඒෂියවේ ඉවාන් පෙරසිච් විසින් ඉතා අලංකාර ගෝලයක් වාර්තා කරමින් අවසාන මහා තරගයක තිබිය යුතු තියණු තරගකාරීත්වය නැවතත් තරගය තුලට ගෙන ඒමට සමත් විය. 38 වැනි මිනිත්තුවේදී ප්‍රංශයට දඬුවම් පහරක් හිමිවූයේ ක්‍රොඒෂියා ක්‍රීඩකයින්ගේ නීති විරෝධි ක්‍රියාවක් හේතුවෙනි. එය ග්‍රීස්මාන් විසින් සාර්ථක කර ගැනීමත් සමගම ගෝල් 2-1ක් ලෙස පළමු භාගය අවසන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් පසුද කණ්ඩායම් දෙකම තරගයේ උණුසුම මදකින් හෝ අඩු නොකළ අතර 59 වැනි මිනිත්තුවේදී ප්‍රංශය ට තුන්වැනි ගෝලය ලබා දීමට පෝල් පොග්බා සමත් විය. තවත් මිනිත්තු 6කට පසු 65 වැනි මිනිත්තුවේදී 19 හැවිරිදි කිලියන් ම්බාපේ ප්‍රංශ ගෝල සංඛ්‍යාව 4 දක්වා ඉහළ දැමීය. ඒ සමගම ප්‍රංශයට ඉතා පහසු ජයක් හිමිවීමේ ලකුණු පහළ විය.

මාරියෝ මැන්ඩ්සුකිච් ක්‍රොඒෂියාව මෙවැනි අවසන් තරගයකට සුදුසුකම් ලැබීම සාධාරණ බව පෙන්වා සිටිමන් තම කණ්ඩායමට දෙවැනි ගෝලයද එක් කිරීමට සමත් විය. ඒ තරගයේ 69 වැනි මිනිත්තුවේදීය. ඉන් පසුවද කණ්ඩායම් දෙකටම ඉතා පහසු ගෝල අවස්ථාවන් කිහිපයක්ම ගිලිහී ගිය අතර නියමිත මිනිත්තු 90ට අතිරේකව හිමිවූ මිනිත්තු 6 තුලදීද ගෝල වාර්තා කිරීමට දෙපිලම අසමත් විය.

ඒ සමගම විනිසුරු පිටානාගේ සංඥාව අනුව තරගය අවසන් වූයේ ක්‍රීඩාංගණයට රැස්වී සිටි ප්‍රංශ පාපන්දු ලෝලීන්ගේ ජය සහ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. ඒ අනුව දෙවැනි වරටත් පාපන්දු ලෝක ශූරතාවයේ හිමිකරුවන් බවට පත් වීමට ප්‍රංශය සමත් වූ අතර 2022 දක්වා එහි නිල හිමිකරුවන් වන්නේද ප්‍රංශයයි.

ඒ සමගම ප්‍රංශ පුහුණුකරු ඩිඩියේ ඩෙස්චෑම්ප් නායකයෙකු ලෙස මෙන්ම පුහුණුකරු ලෙසද ලෝක පාපන්දු ශූරතාවය ජයගත් දෙවැනියා බවට පත් විය. ඩෙස්චෑම්ප් 1998 ශූරතාවය දිනූ ප්‍රංශ කණ්ඩායමේ නායකයාය. මෙයට පෙර ජර්මනියේ ෆ්‍රාන්ස් බෙකන්බයර් 1974 නායකයා ලෙසද 1990 පුහුනුකරු ලෙසද ලෝක පාපන්දු ශූරතාවය ජය ගැනීමට සමත් විය.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා