ශ්‍රී ලංකාවට ලකුණු 71ක ජයක්

Kusal Mendis gave Sri Lanka a strong start  ඡායාරූපය:  Associated Press
.Kusal Mendis gave Sri Lanka a strong start
ඡායාරූපය: Associated Press

ශ්‍රී ලංකාවට ලකුණු 71ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා පිල හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ ශිලට් හි පැවති දෙවැනි හා අවසන් පන්දුවාර 20යි විස්ස තරගයෙන් ලකුණු 71 ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් විය. ජයග්‍රහණය සඳහා දැවැන්ත ලකුණු 211ක ඉලක්කයක් හඹාගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 135 ක් පමණි.   

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් මුලින්ම පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඉතා හොඳ ආරම්භයක් ලබාදීමට කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක සමත් විය. පන්දු වාර 11 ක දී වාර්තා වූ ඔවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ සමබන්ධතාව ලකුණු 98 ක් විය. ගුණතිලක සෞම්‍ය සර්කාර්ගේ පන්දුවකට තමීම් ඉක්බාල් අතට උඩපන්දුවක් ලබා දී දැවී යන විට පන්දු 37කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් ඇතුළුව ලකුණු 42 ක් ලබා ගෙන සිටියේය. මෑත භාගයේදී විස්සයි විස්ස තරගවලදී ශ්‍රී ලංකාවේ සාර්ථකම පිතිකරුවා වූ තිසර පෙරේරා ඉන් පසුව අංක තුන පිතිකරු ලෙස පිටියට පැමිණි අතර පන්දු 17 කින් ලකුණු 31 ක දායකත්වයක් ලබාදීමට තිසර සමත් විය. පළමු තරගයේ මෙන්ම ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් මුළු ලකුණු සංඛ්‍යාව 160 ක්ව තිබියදී තුන්වැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 70ක් තම පිල වෙනුවෙන් එක්කර තිබුණි. පන්දු 42කදී වාර්තා වූ කුසල්ගේ ඉනිමට හතරේ පහර 6 ක සහ හයේ පහර 3ක් ඇතුළත් කිරීමට ඔහු වගබලා ගෙන තිබුණි.

දසුන් ශානකද පන්දු 11කදී හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් වේගවත් ලකුණු 30ක් රැස් කරමින් විස්සයි විස්ස තරගවල ශ්‍රී ලංකා කණ්ඩායමේ තමන්ටත් ස්ථානයක් වෙන් විය යුතු බව නැවත වතාවක් සනාථ කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලකුණු 210ක් කරා ගෙනයාමට සමත් විය.   

පිටියේ දැඩි පින්න සහිත තත්ත්වයක් යටතේ පන්දු යවන්නන්ට සහ පන්දු රකින්නන් අසීරුතාවකට ලක්විය හැකි බවට විචාරකයින් මත පළ කර තිබුණත් බංග්ලාදේශ ඉනිමේ 2 වැනි පන්දුවාරයේදී ප්‍රවේගකාරී පිතිකරු සෞම්‍යා සර්කාර් ලකුණු 0 දවා ගැනීමට අකිල ධනංජය සමත් වූ අතර 3 වැනි පන්දුවාරයේදී මුෂ්ෆිකර් රහීම් සහ මොහොමඩ් මිථුන් දවා ගැනීමට ෂෙහාන් මධුශංක සමත් විය. බංග්ලාදේශ ඉනිම තවත් දුර්වල කරමින් ලකුණු 29 ක් ලබා සිටි තමීම් ඉක්බාල් දැවීගියේය. ජයග්‍රහණය සදහා හුදකලා සටනක නිරත වූ නායක මහ්මුදුල්ලා ලකුණු 41කට දැවීයාමෙන් බංග්ලාදේශ ඉරණම තීන්දු විය.