ඉන්දියාවට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු නායකත්වය සත් හැවිරිදි ආචිට

 ඡායාරූපය:

ඉන්දියාවට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියානු නායකත්වය සත් හැවිරිදි ආචිට

ලෝකයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමක සම නායකයා වශයෙන් කටයුතු කරන්නට අවස්ථාවක් හිමිවූ සත් හැවිරිදි දරුවකු පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි. හෙට (26) දිනයේ ආරම්භවන ඔස්ට්‍රේලියා - ඉන්දියා බොක්සිං දින ටෙස්ට් තරගය සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ආචි චිලර් (Archie Schiller) යන මෙම සත්හැවිරිදි වියේ පසුවන ක්‍රීඩකයා ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළේය. එවැනි අවස්ථාවක් උදාකරගත් ප්‍රථම ක්‍රීඩකයා වශයෙන්ද ඔහු සැලකිය හැකි අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය දැරීමට ඔහු තුළ ඇති සිහිනය ඉටුකරමින් මෙම අවස්ථාව ලබාදී තිබීම විශේෂිතය.

‘මම ඔහුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් කිව්වා බොක්සිං දින ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ සම නායකත්වයට ඔහුව පත්කර ඇති බව. ඒ ප්‍රවෘත්තිය අසා ඔහු හුඟාක් සතුටු වුණා. අප බොක්සිං දින ටෙස්ට් තරගය වෙනුවෙන් කරන පුහුණු කටයුතු සඳහාත් ආචි සහභාගි වුණා. ඔහුගේ මාපියන්ටත් හුඟාක් සතුටුයි. අපිටත් ඒ සතුට එහෙමමයි’යැයි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය නායක ටෙම් පෙනී පවසන්නේය.

මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ සම නායකයා වශයෙන් ඔහු පැමිණෙන්නේ දිගු සිදුවීම් මාලාවක ප්‍රතිඵලයක් වශයෙනි. ඔස්ට්‍රේලියාවෙන් ලෝක ක්‍රිකට් පිටියට බිහිවූ සුපිරි පා දඟ පන්දුයවන්නා වන ෂේන් වෝන් මෙන් පාදඟ පන්දුයැවීමට ප්‍රියකරන ආචි මෙම සිහිනය සිය පියාට හෙළිදරව් කිරිමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකත්වය දක්වා පැමිණීමට අවසර පාදාගෙන තිබුණේය.

ඒ වෙනුවෙන් ඔහු ගෙවා තිබූ මිල සමස්ත ලෝකයම සසල කරවන්නකැයි කිවහොත් වඩාත් නිවැරදිය. ඒ මන්දයත් පුංචි ආචි උපතින්ම දරුණු හදවත් ආබාධයකින් පීඩා විඳින දරුවකු ලෙස සැලකෙන බැවිනි. ඔහුගේ හෘද නාලිකා සතු අක්‍රමවත් නිර්මාණයවීමක් හේතුවෙන් මෙන්ම ක්‍රමානුකූල නොවන හෘද රිද්මයක් මගින් පුංචි ආචිගේ ජීවිතය ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයකය. මේ වනවිට සත් හැවිරිදි වියේ පසුවුණද ඔහු උරස් කුහරය විවෘත කර සිදුකරන හෘද සැත්කමක් ඇතුළුව හදවත ආශ්‍රිත සැත්කම් 13 කට මුහුණදී ඇත්තෙකි. තවමත් වසර හතක් වැනි කෙටි කාලයක් සිය ජීවිතය ගතකර ඇති ආචි ඉන් හරි අඩකට වඩා වැඩි කාලයක් ගතකර ඇත්තේ රෝහල්ගතවය. නිරන්තර වෛද්‍යවරුන්ගේ අවධානය සහිතව ජීවත්වීමට ඔහුට සිදුව ඇත. නමුත් එය කොයි මොහොතේ අවසන් වෙත්දැයි ඔහු දන්නේ නැත.

මේ අතර ‘බලාපොරොත්තුවක් ගොඩනැංවීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක Make a Wish Australia පුන්‍ය ආයතනය මගින් ආචිගේ ලොකුම අපේක්ෂාව මෙලෙසින් යතාර්ථයක් බවට පත්කරනු ලැබ තිබේ. ඔහුට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුම ප්‍රදානය කරනු ලැබ තිබුණේ ඇඩිලේඩ් නුවර ගුවන් තොටුපළේදීය. ඒ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ඉයන් චැපල්ගේ දියණිය විසිනි. ඔවුන් මෙල්බර්න් බලා එන ගමනේදී ගුවන් යානයේ නියමු කුටියට ආරාධනා ලැබ තිබූ අතර ආචි සහ ඔහුගේ තුන් හැවිරිදි සොහොයුරා වන හැරී ඊට එක්වූ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ඇඩිලේඩ්හිදී ඔස්ට්‍රේලියානු සංචිතය සමඟ පුහුණු සැසියකට එක්ව සිටි ආචිට ප්‍රතිවාදී කණ්ඩායමේ නායක විරාත් කෝලි ද මුණගැසී තිබිණි. ‘ඒක මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. මට ඉන්දීය නායක විරාත් කෝලිත් මුණගැසුණා. ඔහු හරි හොඳයි. නමුත් මෙල්බර්න් තරගයේදී ඔහුට වැඩිය ලකුණු රැස්කරන්න බැරිවෙන්න කියලා මම අපේක්ෂා කරනවා’ ආචි පවසා ඇත.

‘ඉදිරි දින කීපයේදී ආචි ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ කටයුතු කරාවි. ඔහුට එහි සිදුකළ යුතු වගකීම් තිබෙනවා. නායකත්වයේ වගකීම් ඒ අතර වනවා’ ආචිගේ මව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා තවදුරටත් සඳහන් කළේය.

මෙල්බර්න් හි පැවැත්වෙන බොක්සිං දින ටෙස්ට් තරගයේදී ආචි චිලර් කාසියේ වාසිය උරගෑම, ජාතික ගීය වාදනය කරන අවස්ථාවට එක්වීමට නියමිත නමුත් අවසන් 11 දෙනා සමඟ පිටිය මැද ක්‍රීඩා නොකරනු ඇත. කෙසේ නමුත් ඔහු සිය ජීවිතයේ විශාලතම අපේක්ෂාව වන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීම බොක්සිං දින ටෙස්ට් තරගයෙන් සිදුවනු ඇත. මේ අතර චිලර් පවුල සැලසුම් කර ඇත්තේ මෙල්බර්න් ජල උද්‍යානයේ නත්තල් දින දිවා ආහාරය ලබාගැනීමය.

මාතෘකා