ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය

 ඡායාරූපය:

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය

පිරිමි අවසන් තරගයට කොළඹ - ගම්පහ ගැටුමක්

කාන්තා සටන කොස්වාඩිය සහ කුරුණෑගල අතර

මේ සති අන්තයේ පැවැත්වෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය ජයගැනීම වෙනුවෙන් පුහුණුවීම් දැනටමත් ආරම්භ කර ඇති බව සියනෑතරු සහ බලරැස් ක්‍රීඩා සමාජ පවසති. පිරිමි අවසන් මහා තරගය ලබන 15 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් පැමිණි මූලික වටයේ තරග අදියර සාර්ථකව අවසන් කළ ආකාරයටම අවසන් මහා තරගයේ ජයග්‍රහණය තම කණ්ඩායම සතු කරගැනීමේ අපේක්ෂාවෙන් මෙලෙස විශේෂ පුහුණු සැසි පවත්වන බව එම කණ්ඩායම් පවසයි. දැනට සියනෑතරු සහ බලරැස් ක්‍රීඩා සමාජ විසින් අදාළ පුහුණුවීම් සීඝ්‍රකර ඇත්තේ ලබන සති අන්තයේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇති හෙයිනි. පිරිමි අවසන් මහා තරගය ගම්පහ වොලිබෝල් නිජබිම සහ කොළඹ පුරවරය අතර සටනක් බවට පත්ව ඇත.

මේ අතර කාන්තා අවසන් මහා තරගය කුරුණෑගල කැෂුවලයින් ක්‍රීඩා සමාජය සහ කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙයි. එම තරගයද උණුසුම් ස්වභාවයක් ගනු ඇතැයි වොලිබෝල් ලෝලීහු විශ්වාසය පළකරති. ඒ වෙනුවෙන්ද එම කණ්ඩායම් ද්විත්වය ස්වකීය පුහුණුවීම් සීඝ්‍රකර ඇතැයි වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසීය. අනාගත ජාතික වොලිබෝල් පිටිය බාරගැනීම පිණිස සූදානම්වන යොවුන් ක්‍රීඩකයන්ගේ නියෝජනය වඩාත් ශක්තිමත් කරනු ලබන අවුරුදු 22 න් පහළ තරගාවලියේ පිරිමි අවසන් තරගය වෙනුවෙන් රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජයත් නාත්තණ්ඩිය ධමිමිස්සර ක්‍රීඩා සමාජයත් තරග වදී. කාන්තා අංශය වෙනුවෙන් තරග වැදීමට නියමිතව ඇත්තේ මහ උස්වැව රත්නපාල ක්‍රීඩා සමාජය සහ කෑගල්ල ඇලමෝනා ක්‍රීඩා සමාජ කණ්ඩායමයි.

අවසන් තරග පැවැත්වෙන තරග කාල සටහන මෙසේයි

පෙ.ව. 9 ට අවුරුදු 22 න් පහළ කාන්තා තරගය

පෙ.ව. 11 ට අවුරුදු 22 න් පහළ පිරිමි තරගය

ප.ව. 1 ට විවෘත කාන්තා තරගය

ප.ව. 3 ට විවෘත පිරිමි තරගය

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා